Wednesday, September 14, 2016

සිත් ගත් ගී 16


බොහොම කාලෙකට පස්සේ තමයි ආයෙත් ලියන්නේ. ජොබ් එකට ගියාට පස්සේ තිබෙන අවිවේකී බවත් එක්ක ලියන්න වෙලාවක් හොයාගන්න පුළුවන් වුණත් හිතට නිදහසක් නැති නිසා ලියවෙන්නෙම නැති තරම්...

සිතුවිලි සිතූ කරපු අභියෝගයක් සහ සශී නංගි (facebook යෙහෙළියක්) කරපු ඉල්ලීමක් තමයි මේ ලියමනට හේතුව....

මම කැමතිම සින්දු 16 තෝරන්න කියලා කරපු ඉල්ලීමේ ප්‍රතිපලය තමයි මේ දිගහැරෙන්නේ....

16. ළා හිරූ පායලා.....




ගායනය : ටී.එම්. ජයරත්න
සංගීතය : ආචාර්‍ය ප්‍රේමසිරි කේමදාස
ගී පද : කුලරත්න ආරියවංශ

මේ ගීතය ඉතාමත් මිහිරි සංගීතමය බවක් තියෙනවා. ඒක වචන වලින් විස්තර කරන්න අමාරුයි. කේමදාසයන්ගේ සුවිශේෂී සංගීත ස්වර වලට ටී.එම්. ජයරත්නයන්ගේ ලයාන්විත කටහඬ එකතු වුණාම පුදුම අපූර්වත්වයක් මැවෙනවා. පද රචනයත් විශිෂ්ඨයි. ඒත් ඕනිකමින් ඇහුවේ නැතිනම් මට නම් මේකේ ගී පද වලට අවධානය යොමු වෙන්නෙම නැති තරම්. ඒ තරම් සුවිශේෂියි මේකේ සංගීතය....
මේක 1980 තිරගත වුණ පරිත්‍යාගය චිත්‍රපටයේ ගීතයක්.

ගීතයේ mp3 එක මෙතනින් Download කරගන්න පුළුවන්.


15. ඔබ ගින්දර දළු පිරිච්ච.....



ගායනය : උමාලි තිලකරත්න
සංගීතය : සංඛ දිනෙත්
පද රචනය : නාරද විජේසූරිය

විශිෂ්ඨතම පද රචනයක් තිබෙන ගීතයක් තමයි මේක. ඇත්තටම මේක වඩාත්ම සිත්ගත් ගීතයක් වෙන්න හේතුව ප්‍රධාන වශයෙන්ම පදරචනය. උමාලිට පෞද්ගලිකවම කැමති වීම තවත් එක හේතුවක්... ;-)

ගීතයේ mp3 එක මෙතනින් Download කරගන්න පුළුවන්.


14. සඳ කැන් වැසිලා....


ගායනය : වික්ටර් රත්නායක
සංගීතය : වික්ටර් රත්නායක
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්

මේ ගීතය සිත් ගත් ගී 16 අතරට එන්න ප්‍රධානම හේතුව තමයි මේකේ සංගීතය. මේකේ තියෙන වයලීන් පාට්ස් වලට පුදුම විදියට හැඟීම් ජනිත කරන්න පුළුවන්. කේන්තිය පිරුණු දුක්බර සංගීතයක් ඒ වයලීන් පාට්ස් වලින් ඇහෙනවා. ගීතයේ පදරචනය සංගීතයෙන් මතු කරලා ගත්ත සුවිශේෂී ගීතයක් විදියට තමයි මට මේක දැනෙන්නේ. කොටින්ම මේකේ වයලීන් පාට්ස් ටික විතරක් අහන්න පුළුවන්. හරියට භාවනාවක් වගේ.

ගීතයේ mp3 එක මෙතනින් Download කරගන්න පුළුවන්.


13. සඳ වී හදේ පායන් ඉතින්.....


ගායනය : දමිත් අසංක
සංගීතය : රොෂාන් ප්‍රනාන්දු
පද රචනය : අයෝධ්‍ය ප්‍රනාන්දු

ප්‍රබුද්ධ ගීත අහන ගොඩක් දෙනා දමිත් අසංක 'බස් ගායකයෙක්' කියලා තමයි කියන්නේ. කනට අමිහිරි 'ඩිස්ටිඩිඩුම් සංගීතය' නිසා තමයි ගොඩක් දෙනා මෙහෙම කියන්නේ. ඒත් දමිත් අසංක ගේ මේ ගීතයට මම ගොඩක් කැමතියි. මේකේ පද රචනය විශිෂ්ඨයි. හැම තැනකම වගේ අනුප්‍රාසය රැකගෙන තියෙනවා. සමහර තැන් වල එළිසමය පවා රැකගෙන තියෙනවා. ඒ වගේම මේක හරිම ආදරණීයයි. අනිත් කාරණාව මේකේ සංගීතය කනට අමිහිරි 'ඩිස්ටිඩිඩිං සංගීතය' නෙවෙයි. රොෂාන් ප්‍රනාන්දු මේ ගීතයට මිහිරි තනුවක් නිර්මාණය කරලා තියෙනවා.

ගීතයේ mp3 එක මෙතනින් Download කරගන්න පුළුවන්.

12. තොටුපොල අයිනේ.....


ගායනය : වික්ටර් රත්නායක
සංගීතය : වික්ටර් රත්නායක
පද රචනය : මහාචාර්‍ය සුනිල් ආරියරත්න

සම්පූර්ණයෙන්ම ව්‍යංගාර්ථයෙන් ලියවුණ ගීතයක් තමයි මේක. මේක අහනකොට හිතන හරිම සැනසීමක්, මිහිරි බවක් දැනෙනවා. ලේසියෙන් ගායනා කරන්න බැරි ගීතයක් තමයි මේ. හුස්ම තබාගැනීමේ පරාසය(Lung capacity) ඉතාමත් වැඩි වෙන්න ඕනි මේ ගීතය ගායනා කරන්න නම්. ගඟක ඉවුරේ රැලි නැඟෙනවා වගේ හැඟීමක් හිතට දැනෙනවා මේක අහනකොට. ගීතයේ අර්ථය ගැන වෙනමම කතා කරන්න ඕනි. ඒ තරම් ලස්සන තේරුමක් මේකට තියෙනවා මට දැනෙන විදියට.

ගීතයේ mp3 එක මෙතනින් Download කරගන්න පුළුවන්.


11. ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා......


ගායනය : කරුණාරත්න දිවුල්ගනේ
සංගීතය : සුනිල් දයානන්ද කෝනාර
පද රචනය : සුනිල් දයානන්ද කෝනාර

මව් ගුණ ගැයෙන ගී වලින් මේ ගීතය මගේ ජීවිතේට වඩාත් සමීපයි. මම ශිෂ්‍යත්ව විභාගය සමත් වුණාට පස්සේ 'ලොකු ඉස්කෝලෙකට' ගියා. ඉස්කෝලේ ගෙදර ඉඳන් පැය 1.30 ක දුර තිබුණේ. ඉතින් උදේ 6 බස් එකේ යන්න ඕනි 7.30 ට යන්න නම්. ඉතින් අම්මා හැමදාම උදේ 4 ට විතර ඇහැරෙනවා මට ගෙනියන්න බත් උයන්න. 'ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා' කියන පද පේළිය මට ගොඩාක්ම සමීප වුණේ එහෙමයි. 'කලා වැවේ' නිල් දියවර නොවුණත් ගොවිතැනින් ජීවත් වුණ අපිට වාරි ජලය සපයපු 'මුතුකණ්ඩිය වැවේ නිල් දියවර' තමයි අපේ අම්මා......

ගොවි පවුලක දරුවෙක් වුණ කරුණාරත්න දිවුල්ගනේට වගේම මේ ගීතයේ හැම පද පේළියක්ම මගේ ජීවිතේටත් සම්බන්ධයි....

ගීතයේ mp3 එක මෙතනින් Download කරගන්න පුළුවන්. 


10. ආදරයේ උණුසුම් සුසුම්...


ගායනය : අමරසිරි පීරිස් සහ නිරෝෂා විරාජිනී
පද : නිලාර් එන්. කාසිම්
තනුව : අමරසිරි පීරිස්

ආත්මීය කටහඬක් තියෙන ගායකයෙක් තමයි අමරසිරි පීරිස් කියන්නේ. ඒ කටහඬින් ගැයෙන ගීත තරුණ පරම්පරාව අතර ජනප්‍රිය වෙන්න ප්‍රධානම හේතුව තමයි ඒක. හදවතේ පතුලටම දැනෙන්න වචන වලට හැඟීම් මුසු කරන්න අමරසිරි පීරිස්ට පුළුවන්. ඒ කටහඬට අති උච්ච ලලනා ස්වර එකතු වුණාම පුදුම ලස්සනයි. මේ ගීතයේ අන්තරා කොටස් වල අන්තිම පදයේ නිරෝෂා විරාජිනී ගේ හඬ ගීතයට අමුතු පණක් දෙනවා. සමස්ථ ගීතයම අමුතු රටාවක ගලායෑමක් තියෙනවා.... 

ඒ වගේම නිලාර් එන්. කාසිම් ඉතාමත් අලංකාර විදියට පද ගලපලා තියෙනවා..

ගීතයේ mp3 එක මෙතනින් Download කරගන්න පුළුවන්.


 09. සඳ සඳ වගේ (Slow Version)


 ගායනය : කසුන් කල්හාර
සංගීතය : කසුන් කල්හාර
පද රචනය : විදර්ශන කන්නන්ගර

'සින්දුවක් අහන ගමන් භාවනාවකට සමවැදෙන්න පුළුවන්ද' කියලා කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවොත් ඒකට මම දෙන උත්තරේ තමයි 'කසුන් කල්හාර ගේ සඳ සඳ වගේ slow version එක headset එකකින් අහන්න කියන එක...
විශේෂයෙන්ම රෑ 12න් පස්සේ මේ සින්දුව headset එකක් ගහගෙන ඇහුවොත් ඒක නම් භාවනාවක්ම තමයි. පුදුමාකර භාවාත්මක සංගීතයක් සහ භාවාත්මක කටහඬක් මේ සින්දුවේ තියෙනවා. ඉන්න mood එක මොකක් වුණත් මේ සින්දුව ඇහුවම ඒ mood එක වෙනස් වෙනවා sure...
හැබැයි මේ සින්දුවේ පද වල තේරුම ගැන නම් මම වැඩිය හිතලා නෑ. මොකක් හෝ ගැඹුරු තේරුමක් තියෙනවා කියලා නම් හිතෙනවා, දැනෙනවා...

ගීතයේ mp3 එක මෙතනින් Download කරගන්න පුළුවන්. 
 

 08. මටම පෙම් කර....


ගායනය : සේනානායක වේරලියද්ද
සංගීතය : සේනානායක වේරලියද්ද
පද රචනය : නුවන් කුමාර කටුගම්පොළ
විරහව ගීතයකට පදනමක් වුණාට ඒ විරහව මේ තරම් ගීතවත්ව කියන්නේ නැතුව ඇති වෙන කිසිම සින්දුවක. ඒ තරම්ම මේ ගීතය මිහිරියි, දුක්බරයි.. මට දැනෙන්නේ එහෙමයි. වචන වලින් නොකියා කියන ඒ දුක වේරලියද්ද දුක්බරිත කටහඬකින් ගායනා කරනවා. ආදරයෙන් පැරදුණ වෙලාවක මේ සින්දුව ඇහුවොත් කවදාවත්ම මේක අමතක වෙන එකක් නැති වෙයි.... 

ගීතයේ mp3 එක මෙතනින් Download කරගන්න පුළුවන්. 


07. වළාකුළු පෙළින් බසින්න...

 ගායනය : ඩබ්. ඩී. ආරියසිංහ සහ රශ්මි සංගීතා
සංගීතය : නවරත්න ගමගේ
පද රචනය : යසනාත් ධම්මික බණ්ඩාර

මේ ගීතය ඉස්සෙල්ලම ඇහුණේ පේරාදෙණිය සරසවියේ ඉන්න කාලේ දවසක් බත් ගෙදරට කන්න ගිහින් ඉන්නකොට. ඒ ඇහුණ වචන දෙක තුනක් මතක තියාගෙන ඇවිත් මේ ගීතය ගැන හොයන්න තරම් මේක හිතට වැදුණා. අති විශිෂ්ඨ පද රචනයක් තියෙන ගීතයක් තමයි මේක. ඒ වගේම උඩරට බෙරය යොදාගෙන කරලා තියෙන සංගීත නිර්මාණයත් විශිෂ්ඨයි. ස්ථායි(chorus) අන්තරා(verse) ක්‍රමයට යන ගීතයකට වඩා කවි පෙළක් වගේ තමයි මේකේ පද රචනා වෙලා තියෙන්නේ. කොටින්ම කොල්ලෙක් කෙල්ලෙක් ගැන තියෙන හැඟීම ඉතාමත් විචිත්‍ර ලෙස වචන කරලා තියෙනවා යසනාත් ධම්මික බණ්ඩාර. ඒ වගේම 'ගාන තෙල් සඳුන් වරලස', 'සුවඳ මල් රේණු පිස එන', 'අර මෝදු වෙලා සිනා පුරන', වගේ ඉතාමත් අලංකෘත පද රචනා ඔහු අතින් ලියවෙලා තියෙනවා.... 

ගීතයේ mp3 එක මෙතනින් Download කරගන්න පුළුවන්. 


06. හිනාවෙන්න බැරි තරමට...


 ගායනය : ධම්මික ඒකනායක සහ උරේෂා රවිහාරි
සංගීතය සහ පද රචනය : නොදනී

මේ ගීතය මුලින්ම ඇහුවේ 2009 අවුරුද්දේ. ඒ දවස් වල උසස් පෙළට class යනවා. හිරු FM එකේ 'අනුත්තරා' කියලා ගුවන් විදුලි නාට්‍යයක් ගියා. FM එකේ නම් ඒකට කිව්වේ 'යුගයේ ආදරණීය ගුවන් විදුලි චිත්‍රපටය' කියලා.. :-) අන්න ඒ නාට්‍යයේ තේමා ගීතය තමයි මේ. මේකට එඩිට් කරපු සංවේදී වීඩියෝ එකක් ඒ දවස් වල mobile phone wala වල share වුණා. ඒකත් එක්ක මේ සින්දුවේ ආදරණීය වචන මුහු වුණාම ඒකට මාර වටිනාකමක් ඇති වුණා.. ඒ වගේම මේ සින්දුවේ සංගීතයත් හරිම ලස්සනයි.... ඒ විදියට සිත්ගත්ත මේ සින්දුව මගේ සිත් ගත් ලයිස්තුවේ 6 වෙනි ස්ථානයට ආවා...


ගීතයේ mp3 එක මෙතනින් Download කරගන්න පුළුවන්.  


 05. සිහිල් සුලං රැල්ලේ...


 ගායනය : වික්ටර් රත්නායක
සංගීතය : වික්ටර් රත්නායක
පද රචනය : සේන ජයන්ත වීරසේකර

ආදරය හිතේ පිරුණ පාන්දර වෙලාවක මේ සින්දුව ඇහුවොත්/ඇහුණොත් කවදාවත් මේක අමතක වෙන එකක් නෑ. ඒ තරම් මේ සින්දුව හිතට වදිනවා. හරිම ලයාන්විත සංගීතයක් එක්ක ආදරණීය පද රචනයක්. නයිට් මේල් ට්‍රේන් එකේ පේරාදෙණියේ ඉඳන් ඇල්ලට යනකොට උදේ පාන්දර 5.30ට විතර දියතලාව හරියෙන් යනකොට මේ සින්දුව හෙඩ් සෙට් එකෙන් ඇහෙන්න ගත්තා. 
ඒ වෙලාවේ තමයි මේක වැඩියෙන්ම හිතට දැනුණේ. එදා ඉඳන් මේ සින්දුවට මං මාර විදියට කැමතියි. ජනේලෙන් එන  සී..තල හුලං පාරත් එක්ක මේ සින්දුව ඇහුණම ආයෙත් ඉතින් තවත් මොනාද.
ඇත්තටම මේ සින්දුව ලියලා තියෙන්නේ බදුළු කෝච්චියේ යන වෙලාවක කියලා පස්සේ මොකක් හරි වැඩසටහනක කිව්වා.. ඒ වගේ වෙලාවක කවියෙක්ට මේ වගේ සිතුවිලි එන එක පුදුමයක් නම් නෙවෙයි...

ගීතයේ mp3 එක මෙතනින් Download කරගන්න පුළුවන්.   


04. සිනා තොටක් විය..

(Original video එක නොවේ.) 

ගායනය : නිරෝෂා විරාජිනී
සංගීතය : රෝහණ වීරසිංහ
පද රචනය : බන්දුල නානායක්කාරවසම්

මේ සින්දුව මට ගොඩක්ම සමීප වෙන්නේ මගේ හොඳ යෙහෙළියක් නිසා. එයාගේ ජීවිතේ මේ වගේම කතාවක් තිබුණා. ඒ කතාව එයා දවසක මාත් එක්ක කිව්වා. ඒ කතාව කියලා අවසානෙදි එයා කිව්වා මේ එයාගේ ගීතය කියල. ඇත්තටම කෙනෙක්ගේ ගීතයක් කරගන්න තරම් මේක ගොඩක් ලස්සන ගීතයක්. අපූර්ව පද සංකල්පනාවකට සංවේදී කටහඬක් එක්ක ලයාන්විත සංගීතයක් ඇහෙනකොට ඒ තරම් ලස්සනක් තවත් තියෙනවද....
 'මගෙන් මිදුණු ලොව ඔබට මිහිරි නම් එය සැපකි..' කියලා අනුකම්පා උපදවන ස්වරයෙන් ඇහෙනකොට ඇත්තටම දුක හිතෙනවා....

ගීතයේ mp3 එක මෙතනින් Download කරගන්න පුළුවන්.   


03. අන්දර යායේ..

 ගායනය : කරුණාරත්න දිවුල්ගනේ
සංගීතය : රෝහණ ධර්මකීර්ති
පද රචනය : කුමාර ලියනගේ

මේ ගීතයේ හැම පදයක්ම ලියවෙලා තියෙන්නේ අපේ තාත්තා ගැන කියලා තමයි මට හිතෙන්නේ. හැම වචනයක් ගානෙම අපේ තාත්තා අපිව මේ තැනට ගේන්න වින්ද නොයෙකුත් දුක් ගැහැට මතක් වෙනවා. ඉතාමත් මිහිරි තනුවක් සහ කටහඬකින් මේ වචන ගායනා කරනකොට හිත හරිම හැඟීම්බර වෙනවා.

'වළාකුළේ ඩා බිඳු තවරා මහ පොළවට මහ වැසි ගෙනෙනා' ඇත්තටම ඒ වචන වල පුදුමාකාර ගීතවත් බවක් වගේම පුදුම ලස්සන අර්ථයක් තියෙනවා.  
 මගේ තාත්තා "ඒ දඬු මං බැඳ සත්කුළු පව් බිඳසිදාදියට එන මං තැනුවා......"

ගීතයේ mp3 එක මෙතනින් Download කරගන්න පුළුවන්.  


02. තිස්ස වැවේ.. 


ගායනය : චාමර වීරසිංහ
සංගීතය : දර්ශන වික්‍රමතුංග
පද රචනය : ශෙහාන් ගලහිටියාව

චාරම වීරසිංහ වත්මන් පරපුරේ ඉන්න ඉතාමත් අර්ථාන්විත ගීත ගායනා කරන ගායකයෙක්. ඒත් ඔහුගේ ගීත වල සංගීතය පිළිබඳ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඩිස්ටිඩිඩිං සංගීතය නිසා ඔහුගේ බොහොමයක් ගීත විකෘති වෙලා වගේ තියෙනවා. ඒත් ඒ අතරින් ඉතාමත් ලස්සන ගීත කිහිපයක් තියෙනවා. තිස්ස වැවේ ගීතයත් එවැන්නක්...

ඉතාමත් ලස්සන සරල පද රචනාවක් මේ ගීතයේ අඩංගු කරලා තියෙන්නේ. මට මේ ගීතයේ සංගීතය ඇහෙනකොට හිතේ මැවෙන්නේ තිස්ස වැව ළඟ ඉඳන් බටනළාව වයන ගැමි තරුණයෙක්. ඒ වගේම වැවේ රැළි බිඳෙන ආකාරයට අනුකූල විදියට මේකේ සංගීතය හසුරවලා තියෙනවා. චාමර වීරසිංහට තියෙන්නේ ටිකක් ගැඹුරු කටහඬක් වුණාට මේ ගීතයට ඒක මාර විදියට ගැලපෙනවා. ගැමි ප්‍රේමවන්තයෙක්ගේ කටහඬ ඒකෙන් දැනෙනවා..

ගීතයේ mp3 එක මෙතනින් Download කරගන්න පුළුවන්.  


01. චාරු දේහේ...


ගායනය : අමරසිරි පීරිස්
සංගීතය : අමරසිරි පීරිස්
පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්

මේ සින්දුව මගේ සිත් ගත් ගී ලයිස්තුවේ පළමු ස්ථානයට එන්න හේතුව මට හිතා ගන්නත් අමාරුයි. අනිත් සින්දු වල ස්ථාන ටික ටික හරි එහෙ මෙහෙ කරාට මේ සින්දුව පළවෙනි ස්ථානයෙන් හොල්ලන්නවත් බැරි වුණා.

මේ ගීතයේ වඩාත් සුවිශේෂී මොකක්ද කියලා කියන්න අමාරුයි. සින්දුව මුලින්ම ඇහෙනකොට සංගීතය ඉතාමත් මාධුර්‍යයයි කියලා හිතෙනවා. සිතාරය, වයලීනය, තබ්ලාව මේ හැම සංගීත භාණ්ඩයම මේ ගීතය ඇතුලේ අමුතු කැටයමක් මවනවා. මුල් සංගීත ඛණ්ඩය අවසන් වෙලා ගීතය පටන් ගත්තම හිතෙන්න ගන්නවා කටහඬ තමයි සුවිශේෂී කියලා. ඒත් තවත් ටිකක් ඇහෙනකොට හිතෙනවා පද රචනය තමයි අති විශිෂ්ඨ කියලා. ඒ තරම්ම මේ සංගීතයේ පද තනු සහ හඬ ගැලපෙනවා.
ඉතාමත් ලස්සන ශෘංගාරාත්මක වචන වලින් අමුතු සුරංගනා ලෝකෙට ගෙනියන්න මේ ගීතය සමත් වෙනවා...


ගීතයේ mp3 එක මෙතනින් Download කරගන්න පුළුවන්.  



මේ list එක තෝරන්න සෑහෙන්න අමාරු වුණා. 'කැමතිම සින්දු' කියලා හිතුවම සින්දු 50ක් විතර හිතට ආවා. ඒවා ලිස්ට් කරලා 16ක් තෝරගත්තේ හරිම අමාරුවෙන්. කැමතිම කියන list එකෙන් අමාරුවෙන් අයින් කරපු සින්දු ටික තමයි මේ තියෙන්නේ..... 
  • සීත සුනිල් දිය දහරා ලා නිල් කඳු මනහාරා.. - එච්. ආර්. ජෝතිපාල
  • සුහදිනියේ සඟවන්.. - අමරසිරි පීරිස්
  • ලොවම එපා වී... - නන්දා මාලිනී
  • සොඳුරිය කාලය කෙතරම්.. - අමරසිරි පීරිස්
  • සිළුමිණ සෑය වඳිම්.. - සමිතා මුදුන්කොටුව
  • වියෝ වූ පසුවයි.. - සුනිල් එදිරිසිංහ
  • කන්‍යාවී.. - අමරසිරි පීරිස්
  • කුරුටු ගෑ ගී පොතේ.. - නන්දා මලිනී
  • ගැටබරු කන්දේ මුදුනෙදි... - චාමර වීරසිංහ
  • ගාන තෙල් සඳුන්... - සමන් ජයනාත් ජිනදාස
  • නන්දනීය පෙම.. - සේනානායක වේරලියද්ද
  • වලා අතුල සිරියහනේ.. - අමරසිරි පීරිස්
  • නිල් උපුල් නුවන් පෙතී.. - සුමිත් මුදන්නායක
  • සොඳුර මට සමුදෙන්න.. - ඩී.ඩී. ගුණසේන
  • මලක් වුණේ ඇයි.. - අමරසිරි පීරිස්

9 comments:

  1. මෙතැන ඇති නවතම සින්දු කිහිපයක්ම මං මීට පෙර අසා නෑ. ස්තුතියි.

    මට නම් තාම සින්දු ටීක තෝරා ගන්න බැරි වුනා!

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. Aiyath ikmanata liyanna. Balamuko aiyage list ekath...

      Delete
  2. එලකිරි !! උඹට හොඳ රසවින්දනයක් තියෙන බව එදා තලවාකැලේ දී දැක්ක..

    ReplyDelete
  3. මං නම් ආසම සද සද වගේ කසුන්ගේ සින්දුවට ..

    ReplyDelete
  4. තවත් ලස්සන ගී එකතුවක්.. මම ආසම "වළාකුළු පෙළින් බසින්න..." ඔබ එතන සඳහන් කරලා තියන අනිත් ගීතත් හරි මිහිරියි..

    ReplyDelete
  5. godak hoday machan blog eka

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...