Saturday, September 8, 2018

අසම්මත ප්‍රේමයක ප්‍රතිපලය | අමාවකට අත වනනා පිච්ච මලී......



අද මම කතා කරන්න හදන්නේ හරි අපූරු රහක් තියෙන සින්දුවක් ගැන. හැබැයි මේක ඛේදවාචකයක්. ඒත් වචන වල අර්ථ රසය සහ ව්‍යංගාර්ථය බොහොම අපූරුවට තියෙන සින්දුවක් තමයි මේක. සමහරු 'බස් ගායකයෙක්' කියලා කිව්වත් ඉතාමත් ලස්සන, අර්ථවත් ගීත රැසක් ගායනා කරපු ගායකයෙක් තමයි චාමර වීරසිංහ. මේකත් චාමර වීරසිංහගේ ගීතයක්...


"අමාවකට අත වනනා පිච්ච මලී... ළැමද නුඹේ කිරි පුසුඹින් සිත කැළඹී..."

සාමාන්‍යයෙන් පිච්ච මල් කැමති අඳුරට. අඳුරේ පිපෙන මලක් ගැන තමයි මේ කියන්නේ.. කෙල්ලෙක් සහ රැයක් සම්බන්ධ කරනවා නම් බොහෝ දුරට ඒ ලිංගික සම්බන්ධ කමක් ගැන වෙන්න ඕනි.. අපි බලමු...


සාමාන්‍යයෙන් තනිකඩ කෙල්ලෙක්ගේ ලමැදින් කිරි සුවඳක් හමන්නේ නෑ. ඒත් ඒ කෙල්ල ගැබ්බරයි නම් ළමැදින් කිරි සුවඳක් හමන්න පටන් ගන්නවා. ආ.. මේ කියන්නේ ඒ ගැන. තරුණිය ගැබ්බරයි..හැබැයි මේ පුද්ගලයා ඒ සුවඳින් කැළඹෙනවා.. ඒ කියන්නේ කම්පනය වෙනවා...
ඇයි ඒ... අපි බලමු...

"පිච්ච පතට පැණි පෙරලා බොම යාමේ
පිච්ච මලට පැණි ඉහුණද සංකාවේ..."


හරි... මේ පුද්ගලයා තරුණිය සමඟ 'පිච්ච පතට පැණි පෙරලා බොන්න' තමයි හැදුවේ.. ඒත් 'පිච්ච මලට පැණි ඉහුණා'. ඒකයි මේ තරුණිය ගැබ්ගෙන තියෙන්නේ.. ඕක කොල්ලන්ගේ භාශාවෙන් වඩාත් සරලව කියන්න පුළුවන්. ඒත් ඒක මෙතන කියන එක සුදුසු නෑ. දැනට සරලව මෙහෙම කියන්නම්. මේ පුද්ගලයා මේ තරුණිය එක්ක 'පොඩි ආතල් එකක්' ගන්නයි හැදුවේ. ඒත් වැඩේ ගොඩාක් දුර දිග ගියා...

මේ පිච්ච මලට ඉහුණේ සංකාවේ පැණි. ඒ කියන්නේ මේ තරුණිය සංකාවෙන් හිටපු තරුණියක්. ඒ කියන්නේ අවිවාහක තරුණියක්...

"ළැමද හොවා හද සෙනෙහස දුන්නාට
කුමක් කරන්නද සමනල් හිනාවට"

'ඔයා ඔය ළමයා හදාගෙන පපුවට තුරුළු කරගෙන සෙනෙහස දෙයි. ඒත් ඒ සමනල් හිනාව වෙනුවෙන් අපිට කරන්න දෙයක් තියෙනවද?' එහෙම අහනවා මේ පුද්ගලයා.

"දෑත දිගුකරන්නට බෑ නුඹෙ ලොවට
වරද මගෙන් සඟවා දෙනු ලෝකයට..."

මේ පුද්ගලයා කොච්චර ආත්මාර්ථකාමී ද. 'මට බෑ ඔයාව බාරගන්න. ඔය දරුවව බාරගන්න. ඔය දරුවා මගේ කියලා ලෝකෙට කියන්න එපා.' කියලා මේ පුද්ගලයා බොහොම ආයාචනාත්මකව ආත්මාර්ථකාමීව ඉල්ලනවා. 'පිච්ච මලට පැණි ඉහිනකොට' මේක මේ පුද්ගලයට හිතුණේ නැද්ද?
අනික ඇයි මේ පුද්ගලයට බැරි මේ තරුණිය සහ ලැබෙන්න ඉන්න දරුවව බාරගන්න?

අපි බලමු...
"අවිහිංසක සිතිවිළි සිත බැන්දාට
එකට කුඩුවෙන්නට බැරි පෙර පවට..."

කෙල්ල හරි අහිංසකයි. ඒ අහිංසක කම තමයි මෙයා ප්‍රයෝජනයට ගත්තේ. ඒත් මේ දෙන්නට එකට එකතු වෙන්න බෑ..
"ඉතින් ශාප කරමින් මගේ ඉක්මන් කමට
එපා විසිකරනු ගින්දර මගෙ පැල්පතට..."


ආ... ඔන්න කතාව. මේ මනුස්සයා ඉක්මන් වෙලා 'පිච්ච මලට පැණි ඉස්සට' මූ බැඳපු එකෙක්. 'මේ දරුවා ගැන ලෝකෙට කියලා මගේ පැල්පතට ගින්දර විසි කරන්න එපා. මගේ කසාදේ කඩන්න නම් එපා...' අන්න ඒකයි මෙතනින් කියන්නේ...

සරලම කතාව මෙහෙමයි...

විවාහක පිරිමි පුද්ගලයෙක් අවිවාහක තරුණියක් ආස්‍රය කරනවා. ඒ පුද්ගලයා අර කී තරුණියත් එක්ක 'යම් සීමාවක් ඇතුව' ලිංගික සම්බන්ධකම් පවත්වනවා. ඒත් දවසක වැඩේ වරදිනවා. මිනිහට තමන්ව පාලනය නැති වෙනවා. ඒ හේතුව නිසා අර තරුණිය ගැබ් ගන්නවා. ඒත් ඒ දරුවා නිසා වත් තරුණිය නිසා වත් ඒ මිනිහට එයාගේ කසාදේ කඩාගන්න බෑ. ඒ ගැන කරන ආයාචනාත්මක ආත්මාර්ථකාමී හැඟීමක් තමයි මේ ගීතයක් විදියට එළියට ඇවිත් තියෙන්නේ..
මේ ගීතය මේ තරම් අපූරුවට ව්‍යංගර්ථය මතු කරලා ලියලා තියෙන්නේ අපවත් වී වදාල විශාරද කවිකීර්ති හිමි.
ඒකට බොහොම අපූරුවට කටහඬ එකතු කරන්නේ චාමර වීරසිංහ.

මේ තියෙන්නේ ඒ ගීතය....


ජීවිතය ගැන අලුතින් කියවමු | නෞකාවේ ගමනේ.....






මේ සින්දුව ගැන කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා. ඒත් මේක ගැඹුරට කියවනකොට අපිට අපි ගැනම දුක හිතෙන්න පටන් ගන්නවා. පන්දම ගැන කතා කරා වගේ මේක ගැන සුන්දරව කතා කරන්න බෑ. මේකේ තියෙන්නේ ගැඹුරු ජීවිත දර්ශනයක්. අපි හැමෝම(අඩුම වශයෙන් බොහෝ දෙනා) ජීවත් වෙන්නේ වෙන කාගේ හරි හීනෙක, මාරුතයක... අපි ඔහේ ජීවිතේ දිගේ ඇදිලා යනවා විතරයි. පවතින සිස්ටම් එකේ ඔහේ ඇදිලා යනවා... හරියට මහ හුළඟට අහුවුණ නෞකාවක් වගේ... "ඇදී යන්නේ මේ දිගන්තේ මාරුතේ හැපී මන්දාකිණි හමුවේවිදෝ අහස් ගග තරණයේ" මහා මාරුතයක හැපිලා අපි මේ ජීවිතේ ඔහේ ඇදිලා යනවා. අපිටම ෂුවර් නෑ මොන වගේ දේකට ඉදිරියෙදි මුහුණ දෙන්න වෙයිද කියලා. මණ්දාකිණි හමුවේවිදෝ කියලා මෙතන අදහස් කරන්නේ අපි ගොඩාක් හොඳ ලස්සන දේ තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ ජීවිතය කියන අහස් ගඟේ.. දිගන්තය කියන්නේ ක්ෂිතිජය. ඒ කියන්නේ ඒකේ කෙළවරක් නෑ. කවදාවත් හමුවෙන්නේ නෑ.. කෙළවරක් නැති ගමනක මහා ලස්සන අවිනිශ්චිත සතුටක් හොයාගෙන අපි ඔහේ ඇදිලා යනවා.. බුද්ධිමත් මනුස්සයෙක් වරක් කියලා තියෙනවා 'මිනිස්සු අපි මැරෙනකංම හැමදාම කරන්නේ සතුට කියලා හිතලා දුකම එකතු කරගන්න එක' කියලා.... 😉 "වසන්තේ දුරයිදෝ කෙසේ හෝ ලංවේවිදෝ අනන්තේ දකියිදෝ නිම් තෙර හමුවන තුරා" ලෞකික විදියට බැලුවොත් නිම්තෙර කියලා කියන්නේ ජීවිතේ අවසානය හෙවත් මරණය වෙන්න පුළුවන්. වසන්තය එහෙම නැත්තන් සතුට එහෙමත් නැත්තන් අපේ ගෝල් එකට කොයි වෙලේ හරි ලං වෙන්න පුළුවන් වෙයිද කියන අවිනිශ්චිත හැඟීමක් අපි හැමෝටම තියෙනවා... ලෝකෝත්තර විදියට බැලුවොත් මේ කියන්නේ බෞද්ධ දර්ශනයේ එන නිර්වාණය වෙන්න පුළුවන්. සමස්ථ ගීතයම අපිට දකින්න පුළුවන් ජීවිතයේ අස්ථිර බව තේරිලා නිර්වාණය හොයාගෙන යන මාර්ගයට ආව ස්වාමීන්වහන්සේ කෙනෙක්ගේ සිතුවිල්ලක් විදියට. මං ඒ විදියට දිගටම මේ සින්දුව දිහා බලන්න උත්සාහ කරන්නේ නෑ. එහෙම වුණොත් මේක ධර්ම දේශනාවක් වෙයි.... 😊 ඒ ගැන ඕනි නම් අපි වෙනමම කතා කරමු... මේක ලිව්වේ ලෞකික අදහසකින්ද ලෝකෝත්තර අදහසකින්ද කියන එක අපිට ධනිත්ගෙන්ම තමයි අහන්න වෙන්නේ... මෙතනින් එහාට පටන් ගන්නවා ඒකාකාරී බීට් එකක්. ඒ ජීවිතයේ තියෙන ඒකාකාරී බව මතු කරන්න ගත්ත උත්සාහයක් කියලා තමයි මට හිතෙන්නේ... ඔහේ ගලාගෙන යන ජීවිත නෞකාව.... "නෞකාවේ ගමනේ...." මොන විදියෙන් කොහොම හිතුවත්, වැඩ කරත් අපි හැමෝම සාමාන්‍ය මිනිස්සු. අපි කාටවත් විශේෂ බලයක් එහෙම නැත්තන් super power එකක් නෑ.. ඒ සාමාන්‍ය ජීවිතයක හිමිකාරයෙක්ට තමයි මේ 'ඔහේ යන ගමන' තේරුම් යන්න පටන් ගන්නේ.. මේ කියන්නේ අන්න ඒක... "තරමක උසට වැඩුනු හය හතරක ඇඟකට උරුම කරුවෙකු නොවන මගෙ පපුවට ලොකු පොඩි හැම දෙයක්ම දැනුනා" බලන බලන හැම කෙනාම 'තරු' හොයාගෙන, ඒ කියන්නේ ලබාගන්න අසීරු ඉලක්ක ගැන හීන මවාගෙන කොහොම ජීවිතේ දිව්වත් හැමෝගෙම කෙළවර තියෙන්නේ නියත මරණය.... "මග බලන බලන තැන හුස්මට දුවගෙන තරුම හොයන් යන මේ දිවි ගමනක කෙළවර එක බව මට දැනුනා" ඊට පස්සේ මෙයා ආයෙමත් හිතනවා... "වසන්තේ දුරයිදෝ කෙසේ හෝ ලංවේවිදෝ අනන්තේ දකියිදෝ නිම් තෙර හමුවන තුරා" අපේ ජීවිතේ ගෙවිලා යන්නේ ඒකාකාරී රිද්මයකට. රස්සාවක් කරන්න පටන් ගන්න මුල් කාලෙ අපි හැමෝටම වගේ ඒ ජීවිතේ නීරස බව තේරෙන්න ගන්නවා. ඒත් ජීවිතේ ප්‍රශ්න එකින් එක එනකොට අපිට ඒ නීරස ඒකාකාරී බව අමතක වෙලා ඒ රිද්මය ජීවිතේම කොටසක් වෙනවා.. අන්තිමට අපේ ජීවිතේ නැති වෙන්නෙත් ඒ රිද්මයෙන්මයි... "නිමා වෙන්නේ මේ ජීවේ රිද්මයකට හුරු වූ" දන්න අතීතේ ඉඳන්ම අපි අපේම හිත් රවට්ටගෙන මායාවක් පස්සේ යනවා... නිමාවක් නෑ ඒ රැවටීමේ... "හඹා යන්නේ මායාවේ අතීතයම රැවටු" ඒත් අපි අපේ ඒකාකාරී ජීවිතෙන් මිදෙන්න උත්සාහ කරනවද? නෑ.. ගොඩාක් දෙනා හමාගෙන යන මාරුතේ නෞකාවක් විදියට ජීවිතේට ඔහේ ගලාගෙන යන්න දෙනවා.... සිස්ටම් එකට ඕනි විදියටම.... කිසිම වෙනසක් නොකර.... වචන වල තේරුම ගණං ගන්නෙම නැතුව 'නෞකාව' කියන title එක විතරක් ඔලුවට අරන් ඇස් පියාගෙන සින්දුව අහනකොට ටික වෙලාවක් යනකොට දැනෙන්න ගන්නවා මේ ඉන්නේ මුහුද මැද නැවක ඉස්සරහම කෙළවරේ(ඒකට කියන නම මතක නෑ) කියලා.. වතුර කපාගෙන වේගෙන් ඉස්සරහට යනකොට වදින හුලං පාරත් නිකං දැනෙනවා දැනෙනවා වගේ.. ඒක මාර feeling එකක්. මං හිතන්නේ ඒ හැඟීම අරන් එන්නේ මේ සින්දුවේ music එක සහ ධනිත් ගේ වචන උච්චාරණය. ඒක නම් මාරයි.... ඉතින් එහෙනං..... අපි හැමෝම මේ ඒකාකාරී නෞකාවෙන් බහින්න try කරමු....

ශෘංගාරාත්මක පන්දම | පන්දම රැගෙන එන්න යන්න මා හදවතට.......







මේ ගීතයේ මොකක් හෝ ශෘංගාරාත්මක තේරුමක් තියෙන්න ඕනි කියලා අහපු පළවෙනි දවසෙම හිතුණා.. ආයේ ආයේ අහද්දි තේරුණා මේකේ බොහොම අපූරු තේරුමක් තියෙනවා කියලා... මේකේ 'පන්දම' කියලා අදහස් කරන්නේ පුරුෂ පාර්ශවයේ ලිංගික හැඟීම/අවයවය කියලා තමයි මට හිතෙන්නේ.. ඇත්තටම ඒකේ සරලම වචනේ මෙතන කියන එක ශිෂ්ඨ සම්පන්න නෑ. 'පන්දම රැගෙන යන්න එන්න මා හදවතට' ඒ කියන්නේ රචකයාට අවශ්‍යයි මේ කාන්තාව සමඟ 'ඒ දේ' කරන්න. ඒත් ඒක නිකංම වෙන්න බෑ. ආදරයේ අන්තිම ඵලය විදියටයි ඒක වෙන්න ඕනි. ඒකයි 'පන්දම' අරන් යන්න කලින් මගේ හදවතට එන්න කියලා කියන්නේ... 'නෙතු දැහැන් බිඳිනා රන් සලුව ඇඳ' හැබැයි හදවතට එන්න ඕනි 'රන් සළුව' ඇඳගෙන. ඇයි මේ රන් සළුවක්? 'ඒකි පට්ට කෑල්ල බං. ඇඟ රත්තරං පාටයි' කියලා කොල්ලෝ කියන්නේ ඇඟේ පාට ගැන. ඉතින් එහෙනං මේ එන්න කියන්නේ දැහැන් බිඳින ඒ ඇඟේ පාට ඇඳුම විතරක් ඇඳගෙන. 😉 රාගයේ හැඟීමෙන් හදවත කම්පනය කරලා පන්දමේ තියෙන ගින්දර පපුවටත් දෙන්න කියලා තමයි මේ කියන්නේ.. "ලියතඹර ලෙලවා හද මඬල යට.. දෙන්න මැණිකෙ මගෙ පපුවට ගින්දර" 'පන්දම' ට විතරක් නෙවෙයි. මගේ පපුවටත් ගින්දර ඕනි.. මට 'ඒක' විතරක් කරලා වැඩක් නෑ. ඔයාගේ ආදරෙත් ඕනි. අන්න ඒකයි මේ කියන්නේ. මෙතනින් එහාට වචන යනවා ඉහල ස්වර පරාස වලට. සංගීතයත් උද්වේගකර වෙනවා. ඒ කියන්නේ හැඟීමේ උපරිම අවස්ථාවක්. 😉 'මේ දිගු දිවි කතරේ අතරමඟදි දැකලා නැතී.. රුවකට නෙත ගැටුණේ කතරක වැසි වැටෙනා දැනේ' මෙච්චර කාලයක් දැකලා නැති තරම් ලස්සන රූපයක්. ඒ රූපය නිසා 'අහවල්' කාන්තාරෙට වැසි වැටෙනවා දැනෙනවා ලු. 'වැසි' කියන්නේ මොනාද කියලා අමුතුවෙන් කියන්න ඕනි නෑ නේ.. 😉 'සිරි යහනේ ලණු ඉහිරී' සින්දුවේ 'නෙතට නුහුරු කඳුළු බින්දු' වගේ දෙයක්... 'හදවත පතුලේ යකු බෙර වැයුණේ තම්දෙන තානේනේ නා’ හදවත රාග හැඟීමෙන් පිරිලා..යකු බෙර වැයෙනවා... 'අනේ මගේ යකුනේ නටපන් හනිකේ තම්දෙන තානේනේ තානේනේ තානානේ...' හදවතේ රාග හැඟීම අරන් අනේ ඉක්මනට නටපන් යකුනේ කියලා බොහොම උද්වේගකර හැඟීමකින් 'යම් කිසි' ක්‍රියාවලියක් කරනවා.... ස්වයං(එක්කෝ ඕනි නෑ) 'ඉණ වට බැන්දා වූ මුතු පොට සැලෙනකොට.. පන්දම දැවෙනවා හද ගිනි ලවාගෙන..' බොහෝ විට මේ කාන්තාව ඇඳන් ඉන්නේ සාරියක් වෙන්න ඕනි. මොකද මුලින්ම මැණිකේ කියලත් කියනවා නේ. ඉන වටේ තියෙන මුතු කියන්නේ දාඩිය වලට වෙන්න ඇති. ඒ දාඩිය දකිනකොට 'පන්දම' දැවෙනවා ලු. 😉 හැබැයි නිකං නෙවෙයි. හදේ ගින්න ලබාගෙන. ඒ කියන්නේ රාගය විතරක් නෙවෙයි. ආදරය මිශ්‍ර වුණ රාගයක්... 'වැහි කළුව එනවා නුඹ නැති දාට.. හිත් අහසම පුරවා අන්ධකාරෙක' නුඹ දකින්න නැති දවසට මුළු හිතම 'වැස්සක්' නැති කළුවැක් විතරක් තියෙන අන්ධකාර අහසක් වගේ ලු... ඊට පස්සේ ආයෙත් උද්වේගකර හැඟීම...... 😉😉 මේ විදියට 'පන්දම' දවන, 'වැසි' වට්ටන, පන්දම අරන් හදවතට යන්න එන්න කියන ,යක්කු හනි හනික නටවන, සාරිය අඳින, මැණිකේ කවුද කියලා ධනිත්ගෙන්ම තමයි අහන්න වෙන්නේ... 😉😉


පන්දම රැගෙන යන්න එන්න මා හදවතට නෙතු දැහැන් බිදෙනා රන් සලුව ඇද ලියතබර ලෙලවා හදමඩල යට දෙන්න මැනිකෙ මගෙ පපුවට ගින්දර

මේ දුර දිවි කතරේ අතරමගදි දැකලා නැතී රුවකට නෙත ගැටුනේ කතරක වැසි වැටෙනා දැනේ හදවත පතුලේ යකුබෙර වැයුනේ තම්දෙන තනෙන නා අනෙ මගෙ යකුනේ නටපන් හනිකේ තම්දෙන තනෙන තනෙන තනානේ

ඉන වට බැන්දා වු මුතු පොට සැලෙන කොට පන්දම දැවෙනවා හදගිනි ලවා ගෙන වැහි කලුව එනවා නුබ නැති දාට සිත් අහසම පුරවා අන්ධකාරෙක


මේ දුර දිවි කතරේ අතරමගදි දැකලා නැතී රුවකට නෙත ගැටුනේ කතරක වැසි වැටෙනා දැනේ හදවත පතුලේ යකුබෙර වැයුනේ තම්දෙන තනෙන නා අනෙ මගෙ යකුනේ නටපන් හනිකේ තම්දෙන තනෙන තනෙන තනානේ
Related Posts Plugin for WordPress, Blogger...