මං ආස කරන මගේ ඒ ලස්සන ළමා කාලෙට ආයෙත් යන්න මට පුළුවන් වෙයි.
හැමදාම උදේට අම්මා බැටරි දාන සන්යෝ වර්ගයේ රේඩියෝ එකේ පිරිත් දානවා. උදේට නැගිටින්නේ ඒ පිරිත් වල හිත නිවන රිද්මයෙන් කන් දෙක පුරවගෙන. උදේට මූණ හෝදන්න දත් මදින්න යන්නේ ඇලට. උදේ පාන්දරට ඇලේ වතුර හරිම සීතලයි.
ආපු ගමන් කාලා හවස හතරට විතර දුවන්නේ ඇලට. අම්මා කියන විදියට නම් අපි ඒ යන්නේ නාන්න නෙවෙයි, "නටන්න". ඇල දෙවනත් කරලා, "නටන්න" පුළුවන් උපරිමෙන් නටලා, ඇස් රතු කරගෙන ඇලෙන් ගොඩවෙන්නේ බිමට කළුවර වැටෙනකොට.
අම්මාගෙ අණ පරිදි හවස 6.30ට කලින් බුදුපහන පත්තු කරන්න ඕනි. අක්කා නියම කරපු විදියට මට තියෙන්නේ මල් කඩන්න. පහන පත්තු කරලා දෙන්නා එක්කම බුදුන් වඳිනවා. සමහර දාට අම්මයි තාත්තයිත් එනවා බුදුන් වඳින්න. එදාට නම් අපිට ගොඩක් සතුටුයි.
රෑ කියන්නේ බොහොම කළුවර කාලයක් වුණත් කුප්පි ලාම්පු එළියටත් වඩා එළියක් අපේ ගෙදර තිබුණා. ඒ අම්මයි තාත්තයි අක්කයි මමයි කියන අපි හතර දෙනාගේ සතුට. කුප්පි ලාම්පු එළියෙදි වුණත් රේඩියෝ එකේ සද්දේ නම් නැවතුන වෙලාවක් නැති තරම්. සතියේ දවස් වල 7.30 ට වෙළඳ සේවයේ විකාශනය වුණ සීතාවක රාජධානියේ කතාව, උඩරට රාජධානියේ කතාව ( සෙංකඩගල මහා වියවුල ) අපි ගොඩක් ආසාවෙන් අහපු ගුවන් විදුලි නාට්‍යය. ඒ විතරක් නෙවෙයි සෙනසුරාදා 7.30ට ගිහිපු "දෙගම්දොර අන්දරය" ඒකත් හරිම ලස්සන ගැමි කථාවක්. එක විරාමයක් විතරක් තියෙන පැය භාගයක ගුවන් කාලයක් නිසා ඒ නාට්‍යයෙන් උපරිම රසවින්දනයක් ලැබුණ වගේම අපේ රටේ ඉතිහාසය ගැන ගොඩක් දේ අපි ඉගෙන ගත්තා.
රෑට කන්න කෑම මේසෙක වාඩිවෙන පුරුද්දක් අපේ ගෙදර තිබුණේ නෑ. හතර දෙනා එක්කම සිමෙන්ති මැදපු පොළවේ බිම වාඩි වෙලා ලාම්පු කුප්පි දෙක තුනක් වටේට තියාගෙන, හරිම සතුටින් කෑවා. ඒ කන අතරේ පවුලේ හැමෝගෙම වැදගත් දේවල් කතා කරා, ඒ වගේම පවුලේ අනාගතය සැලසුම් කරා.
එයාලත් එක්ක නියරක් උඩ වාඩි වෙලා කෙසෙල් කොල වල බත් කාපු හැටි, එයාලා බුලත් විට කනකොට මාත් කාපු හැටි, කවදාවත් මතකයෙන් මැකෙන දේවල් නම් නෙවෙයි. සමහරවෙලාවල් වලට කවර වලට බැත* දාලා මහලා ඉවර වෙනකොට රෑ වෙනවා. තාත්තලා කවර මහනකං මම මැඩුවන්* ගොඩේ එහෙටයි මෙහෙටයි පැන පැන එක එක සෙල්ලං දානවා.
ඊටත් වඩා සුන්දර අත්දැකීම තමයි වී කවර පුරවපු ට්‍රැක්ටරේ නැගලා ගෙදර යන එක. ලෝකෙන්ම උඩින්ම ඉන්නේ මමයි කියලා හිතට එන හරිම ලස්සන හැඟීමක් ඒක.
ඇලේ වතුර වහලා ආයේ වතුර දෙනකං අර පිදුරු ගොඩ දිරනවා. වතුර ගතිය වැඩියෙන් තියෙන තැන්වල තියෙන පිදුරු උඩ පිදුරු හතු හැහෙනවා. අම්මත් එක්ක ඇවිත් ඒවා කඩාගෙන යන්න මම හරිම ආසයි.
මගේ ළමා කාලේ සාමාන්‍ය දේවල් ඔය වගේ බොහොම සුන්දර මතකයන් ගොඩක්. ඒත් කාලේ චුට්ට චුට්ට.ගෙවෙනකොට ජීවිතේ එන්න එන්න සංකීර්ණ වුණා. ලකුණු 153ක් අරං ශිෂ්‍යත්වේ පාස් වෙලා ලොකු ඉස්කෝලෙකට (මහානාමෙට) ගියාට පස්සේ මගේ ඒ සුන්දර ජීවිතේ චුට්ට චුට්ට මගෙන් ඈත් වුණා. ඒත් එක්කම අපේ අලුත් ගේ හැදුවා, ඒකේ පදිංචියට ආවා, කරන්ට් එක ගත්තා, ටීවී එක ගත්තා, සාමාන්‍ය පෙළ, උසස් පෙළ, විශ්වවිද්‍යාලයට එනකොට ඒ ලස්සන ජීවිතේ මගෙන් ඈත් වෙලා නොපෙනිලාම ගියා. ඒකට හේතුව අපි වයසින් වැඩීම විතරක්ම නෙවෙයි කියලා මට දැන් හිතෙනවා.
සාමාන්‍ය පෙළ A10, උසස් පෙළ A දෙකයි B එක මගේ ජීවිතේ ඉහලටම උස්සන්න පුළුවන් ගුණන සාධක කියලා ඒ දවස් වල හිතුණත් ඒවා ඇත්තටම එහෙම නෙවෙයි කියලා දැන් තේරෙනවා. ඒවා ජීවිතේ සංකීර්ණ බව වැඩි කරන ගුණන සාධක. එහෙමයි මට දැන් හිතෙන්නේ.
ප්‍රාර්ථනා කරන විදියට මාසෙකට විතර විදුලිබලය ඇණහිටියොත් හැම දේම නැතත් පොඩි කාලේ වින්ද ඒ ජීවිතෙන් අර්ධයක් හරි විඳින්න පුළුවන් තරම් ලස්සනක් අදටත් මගේ උපන් බිමේ තියෙනවා... ඒත් ඒ ප්‍රාර්ථනාව කවදාවත් ඉෂ්ට වෙන්නෙ නෑ කියලත් මම දන්නවා............
ඒ කාලේ මමයි අක්කයි |
*
බන්ට් එක - ඇල දෙපස ඉවුරු
කයිය - විවිධ කතා
කොල වැඩ කාලය - අස්වනු නෙළන කාලය
බැත - වී (කමත් බසින්)
මැඩුවන් - පිදුරු (කමත් බසින්)
෴ රන්දුනු යසරංග
අපි හැ මකෙනෙක්ම ආයෙමත් අපේ පුංචි කාලෙට යන්න තියනව නම් ඇත්තටම ගොඩක් ආසයි. ඒ කාලේ අපි කොයිතරම් නිදහසේ දුවපැන අවිද්ද ද..මොන තරම් සතුටකින් අම්මා තාත්තගේ සහෝදර සහෝදරියන්ගේ උණුසුමේ කල් ගෙව්වද...
ReplyDeleteඒ කාලේ අපි ගෙවලා ඇවිත් ඒ හැම දෙයක්ම දැන් සුන්දර මතකයක් විතරයි...
මේ පොස්ට් එක කියෙව්වම මටත් ඒ අතීතේ මතක් වුනා රන්දු .
මම මෙතෙක් කල් ලියපු කවි සින්දු කතා වලින් මම ආසම මේකට. මේ අපේ ළමා කාලය නිසා වෙන්න ඇති ඒ.....:)
Deleteහරිම ලස්සන අතීතයක්...ඔය කියපු දේවල් වලින් ඉතාම වැඩි ප්‍රතිශතයක් දේවල් මමත් ඒ විදියටම අත්විදලා තියෙනවා...ඒත් වර්තමාන හා අනාගත පරම්පරාවට ඒ සුන්දරත්වය විදින්න වෙන්නෙ නැති එක ගැන නම් පොඩි දුකක් තියෙනවා...මමත් හිතින් ඒ අතීතයට ගියා...
ReplyDeleteඒ අතීතය අපිට කෙසේවෙතත් අපේ බාල පරම්පරාවටවත් ආයේ විඳින්න වෙන්නෙ නෑ නේ කියලා හිතෙනකොට නම් මහා දුකක් දැනෙනවා... ඇත්තටම ඒක විඳිය යුතු මා....ර ලස්සන අත්දැකීම් ගොඩක් සිරා අයියේ..
Deleteමචං මාත් ඒ දවස්වල ආසම වැඩක් තමයි කුඹුරේ ඉදලා වී මලු පුරෝපු ට්‍රැක්ටරේ නැගලා ගෙදර එන එක...
ReplyDeleteසිරාවට බං. ඒක මාර මරු නේ...
Deleteරසවත් අතීතයක්. ඇත්තටම දැං ළමයින්ට කොච්චර පහසුකම් තිබ්බත් උං විඳින්නෙ සැපක් නෙමෙයි දුකක්.
ReplyDeleteඇත්තටම අයියේ....ඒ ගැන මතක් වෙනකොට ටිකක් විතර දුකක් තමයි ඉතිරි වෙන්නේ.....
Deleteහරි අපූරු අතීතයක්නෙ අයියේ. ඔය තරම් නැතත් සුන්දරයි කියල කියන්න පුලුවන් අතීතයක් මටත් තිබ්බා. මොන තරම් දේවල් පහුකාලීනව ලැබුනත් මම තවමත් ආසයි මගේ පුංචි කාලෙට.
ReplyDeleteකොහොමත් නංගා අපි කවුරුත් ආදරේ කරන අපි කාටවත් ආයෙම යන්න ළඟාකරගන්න බැරි දෙයක් නේ අපේ පුංචි කාලේ....ඉතුරු වෙන්නේ මේ වගේ මතක විතරයි.....
Deleteහරිම ලස්සන කතාවක් රන්දු.. ආසාවෙන් කියෙව්වා. මමත් කියෙව්වා තරමටම නැතත් මේකෙන් පොඩි කෑල්ලක් තරමට රස විඳපු කෙනෙක් හැටියට ඒ රසේ දන්නවා.. ඒ කාලේ ආයෙත් එනව නම්...
ReplyDeleteම්ම්ම්...මේ රසය ටිකක් හරි විඳලා තියෙනවා නම් ඒක හරිම වාසනාවක්....
Deleteඔව්. ඒ කාලේ ආයෙත් එනවා නම්.............................................
සහතික ඇත්ත..
ReplyDeleteළමා කාලය තමයි ජීවිතේ හොදම කාලෙ.වයසින් වැඩෙද්දි,ජීවිතෙ ඉහලට යද්දි අපි නොහිතන පැත්තකින් අපි හැමොගෙම ජීවිත වල සියුම් සතුටක් අහිමි වෙනවා...
ඒ අහිමි වෙච්ච දේ ආයේ අලුත් පරම්පරාවකටවත් ගන්න බෑනේ කියලා හිතෙනකොට ඒ දුක තව වැඩි වෙනවා....
Delete