Wednesday, October 30, 2013

ඔච්චර මගේ ළඟට එන්න එපා අනේ.....෴


"ඔච්චර මගේ ළඟට එන්න එපා අනේ...."
"මගෙන් ඈත් වෙලා ඉන්නවා..."

"ආයේ මේ පැත්තේ පස් පාගන්න එපා...."
"ආයේ මට කිට්ටු වෙන්න හිතන්නවත් එපා....."
"මට ඉඩ දෙන්න......."

          එදිනෙදා ජීවිතයෙදි අපි මේ වගේ වැකි ගොඩක් භාවිතා කරනවා නේද. හිතලා තියෙනවද ඇයි අපි ඒ විදියේ දේවල් ගැන කියනකොට 'සීමාවක්' ගැන සඳහන් කරන්නේ කියලා..............




        බොහොමයක් සත්ත්ව වර්ග තම තමන්ට කියලා සීමාවක් හදාගන්නවා වගේම ඒ සීමාව රැකගන්න උත්සාහ කරනවා. කැලෑවල ජීවත් වන සමහර සතුන් තමන්ගේ සීමාව සළකුණ කරන්නේ තමන්ගේ මුත්‍රා වලින්. දළ තියෙන සත්තු තමන්ගේ දළ වලින් සීමාවන් සළකුණු කරනවා. ඒ වගේම ඒ සීමාව රැකගන්න සටන් කරනවා. අපි හොඳටම දන්න ගෘහවාසී සතෙක් වන 'බල්ලා' තමන්ගේ සීමාවට කවුරු හරි ඇතුළු වුණාම බුරන්නෙත් ඔය කියන අවකාශය රැකගන්න.

         වැඩිය හිතුවේ නැති වුණත් 'මිනිසා' කියන සත්ත්ව වර්ගයට අයිති අපි කවුරු කවුරුත් අපේම කියලා අවකාශයක් ඒ කියන්නේ අපේම කියලා සීමාවක් හදාගන්නවා. ඒ වගේම අපි ඒ අවකාශ‍ය රැකගන්න සටන් කරනවා.



          ඒ ඒ අවස්ථාවන්ට අනුරූප වන විදියට මිනිසා තමන්ගේ අවකාශය බෙදාගෙන තියෙන්නේ මෙන්න මේ විදියට ලු.

1. හිතවතුන්ගේ කලාපය : අඟල් 6 ත් 18 ත් අතර (15-45cm)
            සියලු කලාප වලින් මෙම දුර ඉතාමත් වැදගත් හෙයින් තමාගේ දේපලක් මෙන් සලකා පුද්ගලයා මෙය ආරක්ෂා කරයි. මෙම කලාපයට ඇතුල්වීමට අවසර ඇත්තේ චිත්තවේගිකව අප හා සමීපවන අයට පමණි. ඒ අය අතර පෙම්වතුන්, මාපියන්, අඹු හෝ සැමියා යන අය, දරුවන්, සමීප මිතුරන්, ඥාතීන් හා සුරතල් සතුන් වෙති. මෙය තුල ඇති ශරීරයේ සිට අඟල් 6(15 cm) දක්වා වන උප කලාපයට ඇතුළුවීමට අවසර ඇත්තේ සමීප සම්බන්ධකම් පැවැත්වීමේදී පමණි. එය සමීප හිතවතුන්ගේ කලාපයයි.

2.සමාජ සම්බන්ධතා කලාපය : අඟල් 18 ත් 48 ත් අතර (46 cm -122cm) 
           මෙම කලාපය තුළ මත්පැන් සාදයන්හිදී, කාර්යාල සාදයන්හිදී, සමාජ උත්සව හා මිතුරන් එක් වූ අවස්ථාවලදී අපි අන් අයට සමීප වෙමු.

3.බාහිර සමාජයේ පුද්ගලයන්ට නියමිත කලාපය : අඩි 4 ත්12 ත් අතර (1.22m - 3.6m) 
           අප අමුත්තන්ගෙන් මෙපමණ දුරින් සිටිමු. අපේ නිවසට පැමිණ එහි අළුත්වැඩියා වැඩ කරන ජලනළ සවි කරන්නා, වඩුවා, වැනි අයද ලියුම් බෙදන්නා, සාප්පු හිමියා, අළුත් සේවකයා හා අප නොදන්නා මිනිසුන් ආදිය අපි මෙපමණ දුරින් තබා ගනිමු.

4.පොදුජන කලාපය : අඩි 12ට වැඩි
           අපි විශාල ජනකායක් අමතනවිට සිටගතයුතු සුවපහසු දුර ලෙස මෙම සීමාවෙන් බැහැර දුරක් තෝරාගනිමු.

*මේ සියලු දුර ගැහැණු දෙදෙනෙකු එක්වූ විට අඩුවීමේ සහ පිරිමි දෙදෙනෙකු එක්වූ විට වැඩිවීමේ ප්‍රවණතාවය ඇත.

          අපේ හිතවතුන්ගේ කලාපයට (සෙ.මී 15-45)  වෙනත් පුද්ගලයෙකු සාමාන්‍යයෙන් ඇතුල්වන්නේ හේතු දෙකකින් එකක් සඳහාය.
පළමුවැනි කරුණ නම් ඇතුළුවන පුද්ගලයා සමීප ඥාතියකු හෝ හිතවතෙකු විය හැකිය. නැතිනම් ඇතුළුවන ගැහැණිය හෝ මිනිසාගේ ලිංගික තෘප්තිය පිණිසය.


දෙවන කරුණ අනුව ඇතුළුවන්නේ සතුරු හැඟීමෙන්ය. පහරදීමට පුළුවන. අපේ සමාජ සම්බන්ධතා සලකා බැලිය හැකි හා බාහිර සමාජයට නියමිත කලාපවල ඇතුළත අමුත්තන් සිටිනු අපට ඉවසිල්ලෙන් බලා සිටිය හැකි වුවත් හිතවතුන්ගේ කලාපය තුළට අනාරාධිතව පැමිණියහොත් අපේ ශරීරය තුළ වෙනස්කම් හටගනී. හදවතේ ක්‍රියාකාරීත්වය වේගවත් වේ. රුධිර ධාරාවට ඇඩ්‍රිනලීන් එක් වේ... එම රුධිරය මොළයට හා මාංශ පේෂී වලට පොම්ප කිරීමෙන් වියහැකි සටනකට සැරසීමක් නැතහොත් ආරක්ෂාව පතා පළායාමට සැරසීමත් සිදුවේ...


          මෙයින් අදහස් කරන්නේ ඔබට දැන් හමුවූ පුද්ගලයෙකුගේ කරවටා මිත්‍රශීලී විලාසයෙන් ඔබ අතදමා ගතහොත් ඒ පුද්ගලයා ඔබ කෙරෙහි නිෂේධාත්මක හැඟීම් ඇතිකර ගැනීමට එය ප්‍රමාණවත් යනුය. ඔහු මදහස පා ඉන් සතුටු වූ විලාසයක් පෑවද ඒ ඔබගේ සිත රිදවීමට කැමති නොවන නිසාය.

          නාට්‍යශාලා, සිනමාශාලා, දුම්රිය හෝ බස් රිය තුළ තදබදවීම නිසා ඇතිවන ප්‍රතිඵලයක් නම් අනෙක් මිනිසුන්ට අයත් හිතවතුන්ගේ කලාපයට අනාරාධිතව ඇතුල්වීමයි.


පෝලිමක, හෝ ප්‍රසිද්ධ ප්‍රවාහන සේවයක ගමන් කිරීම වැනි තදබද වී සිටීමට සිදුවන අවස්ථාවල පිළිපැදීමට නොලියූ නීති මාලාවක් ඇත.

1.කිසිවෙකු හා ඔබ දන්නා පුද්ගලයෙකු සමඟවත් කථා නොකළ යුතුය.
2.හැමවිටම අනෙක් අය හා ඇසින් ඇස සම්බන්ධවීමෙන් වලකින්න.
3."හැඟීමෙන් තොර" මුහුණක් පවත්වාගැනීමට උත්සාහ කරන්න.කිසිදු චිත්තවේගයක් නොපෙන්වන්න.
4.ඔබ ළඟ පොතක් හෝ පුවත්පතක් තිබේ නම්, එය තුළ ගැඹුරෙහිම ගිළි සිටින සේ හඟවන්න.
5.විශාල සෙනඟක් තුළ නම් ශරීරය සෙලවීම කිසිසේත් නොකර සිටින්න.




          ඔබ ඇසුරු කරන මිනිසුන්ට, වඩා සුවපහසුව දැනීමට ඕනෑ නම් පිළිපැදිය යුතු ස්වර්ණමය නීතිය නම් 'ඔබේ දුර පරතරය නිසි පරිදි පවත්වාගන්න' යනුය.


මූලාශ්‍රය : The Definitive Book of Body Language - Allan+Babara Pease
රූ : http://4.bp.blogspot.com
      http://listdose.com
      http://www.sundaytimes.lk/

12 comments:

  1. කොල්ලො සෙට් උනාම නම් ඔය පරතර මුකුත් නෑ... :) ඔහොම දුර පරතර කිව්ව ගමන් හිනා ගියාට මං හිතන්නෙ අපි නොදැනුවත්වම ඒක පිළිපදිනව කියලයි..............

    ReplyDelete
    Replies
    1. ඔව්. මටත් ඔය පොත කියවගෙන යනකොට තමයි ඔහොම එකක් තියෙනව කියලවත් තේරුණේ...

      Delete
  2. ඔවුවා පිළිපදිනවද කියලා මම මේ කල්පනා කලේ..

    ReplyDelete
    Replies
    1. මොනා නැතත් 'ඉතා සමීප පරතරය' නම් පිළිපදිනවා ඇති නෙවැ...;)

      Delete
  3. මගේ ලෝකය - මේ නීති අතර පරතරය තිතක් පමණී :)

    ReplyDelete
    Replies
    1. සෑම් අයියා මේ පැත්තේ ආවමද කොහෙදෝ......පිළිගනිමි හරසරින්...
      අපි ඒ පරතරය තිත් දෙකක් කරමු....:o

      Delete
  4. මේ ලිපිය කියවගෙන යනකොට තමයි හරියටම තේරුනේ, අපි එදිනෙදා ජීවිතේදිත් මේ කාරණා නොදැනුවත්වම යොදා ගන්නව නේද කියලා.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි... සාමාන්‍ය දෙයක් වගේ නේ..

      Delete
  5. //ඔබ ඇසුරු කරන මිනිසුන්ට, වඩා සුවපහසුව දැනීමට ඕනෑ නම් පිළිපැදිය යුතු ස්වර්ණමය නීතිය නම් 'ඔබේ දුර පරතරය නිසි පරිදි පවත්වාගන්න' යනුය.// මේක නම් වටින උපදෙසක්.

    ReplyDelete
    Replies
    1. අතේ දුරින් ඉන්න කියන්නෙත් ඕකමද මන්දා නේ....

      Delete
  6. මේ නීති ප්‍රයෝගික නෑ නේද බන්...උඹ විහිළුවට නේද ලිව්වෙ ?

    ReplyDelete
    Replies
    1. නෑ නෑ අයියේ. මෙහෙමනේ... ඕව පිළිපැද්දොත් ගොඩක් තදබද වෙලාවට ඇති වෙන්න පුළුවන් ගැටුම් වළක්වාගන්න පුළුවන් කියලයි ඔය කියලා තියෙන්නේ.....නැත්තන් ඉතින් බස් එකේ එහෙම යනකොට දන්නවනේ ඉතින් කට්ටිය( හේත්තු වෙන්න එපාය, ඇඟට එනවය, අනම් මනම් ගොඩයි. ඒ මදිවට වැරදිලා අත එහෙම වැදුණොත් මරාගෙන කන්න හදනවා )

      Delete

Related Posts Plugin for WordPress, Blogger...