Showing posts with label මම දැනගත්ත දෙයක් ඔයාට........ Show all posts
Showing posts with label මම දැනගත්ත දෙයක් ඔයාට........ Show all posts

Saturday, July 18, 2015

තළවකැලේ ගියෙමි, සංවේගයට පත් වීමි.......෴



          ගිය මාසේ 30 වෙනිදා 'අපි ට්‍රිප් යමු ද' කියලා හිමාෂි (හිමාෂි කරුණාරත්න) කිව්වම නිකං ඉබ්බා දියට දැම්මම දැන් නෑවේ කිව්වා වගේ ංහා කිව්වා එකෙන්ම. බ්ලොගර්ස්ලාගේ ට්‍රිප් එකක්ලු, කට්ටිය 35ක් විතර සෙට් කරගන්න ඕනිලු අනං මනං කතා ටිකක් කිව්වම මාත් ඉතින් දන්න අඳුනන බ්ලොගර්ස්ලා සෙට් එකකට විස්තරේ කිව්වා. ඒත් ගොඩක් දෙනෙක් අදිමදි කරා. කොහොමහරි සත්සරයා මේකට සෙට් කරගන්න මට පුළුවන් වුණා.

මෙන්න මේ සබැඳියේ ගමන ගැන වැඩි විස්තර තිබුණා...

        කොහොමින් කොහොමහරි ගමන පිටත් වුණා. අවිස්සාවේල්ල-කිතුල්ගල-ගිනිගත්හේන හරහා මඟ දෙපස සිරි නරඹමින් මීට කලින් කවදාවත් මුණ නොගැහුණ බ්ලොග් කරුවන් එක්ක මුහු වෙමින් හෙමින් හෙමින් තළවකැලේට සේන්දු වුණා. ඒ අතරමඟදි ඩෙවෝන් ඇල්ල වගේම සෙන්ට් ක්ලෙයාර් ඇල්ලේ සිරි නරඹන්නත් අමතක කරේ නෑ....

ඩෙවෝන් ඇල්ල ළඟඳි... මම, සම්පත් අයියා, සත්සර, හිමාෂි සහ සුමිත් අයියා.

          තළවකැලෙන් මොකක්දෝ බැනර් එකක් ප්‍රින්ට් කරගත්තට පස්සේ අපිව ලිඳුළ කියන ගමට බොහොම පරිස්සමින් අරගෙන යන්න අපේ අති දක්ෂ ඩ්‍රයිවර් අයියට පුළුවන් වුණා( ඒ පාර බස් එකකට යන්න ගොඩක් අමාරු බොහොම පටු පාරක්...). :D


          කෑම ටිකක් පරක්කුයි කියලා පලනි අයියා (පලනි විජයකුමාර්) කිව්ව නිසා අපි ලිඳුළ ගමේ තිබුණ ඉස්කෝල දෙකක් බලන්න ගියා. මේ ගමනේ නියම අර්ථය හරියටම මට අවබෝධ වෙන්න ගත්තේ ඒ ඉස්කෝල දෙකට ගියාට පස්සේ. ඉස්සෙල්ලම ගියේ ලිඳුළ ගමේ තිබුණ ප්‍රාථමික ඉස්කෝලෙකට. එදා සෙනසුරාදා දවසක් වුණත් ඉස්කෝලේ චූටි ළමයි කිහිපදෙනෙක් හිටියා. එයාලගේ ගුරුතුමියත් එක්ක. ඒ ශිෂ්‍යත්ව පන්තියේ ළමයි ලු. එයාලගේ ටීච එයාලට ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් අමතර පන්තියක් කරනවා. අපි එක එක්කෙනා ඒ ක්ලාස් එකට ඇතුළු වෙන වාරයක් ගානේ ඒ ළමයි 'වෙල්කම් සර්, වෙල්කම් ටීචර්' කියලා කියන්න ගත්තේ හරිම අහිංසක විදියට. බෑන්ඩ් කණ්ඩායමක් ප්ලේ කරලා පිළිගැනීමේ ගීත කියලා බෙර ගහලා පිළිගන්න එයාලට වත්කමක් නැතත් බොහොම අහිංසක විදියට ඒ දරුවෝ අපිව පිළිගත්ත විදියට ඒ අහිංසක කමට ඉස් ඉස්සෙල්ලම ආදරේ හිතෙන්න ගත්තා.

       කලා හිත බ්ලොග් එක ලියන කළ්‍යාණ මිත්‍ර අයියා (සුමිත් අයියා)  ඒ දරුවෝ එක්ක බොහොම කුලුපගව කතා කරා(ඇත්තටම කතා කරා කියන එක වැරදියි. කතා කරන්න උත්සාහ කරා.) අපේ සෙට් එකේ සිංහල කාටවත් දෙමළ භාෂාව කතා කරන්න බෑ. ඒ ළමයින්ගේ වචන වලට ඇහුම්කන් දෙන්න බැරුව ඒ වෙලාවේ අපේ හිත් වලට ලොකු අසරණකමක් ලැජ්ජාවක් දැනුණා. සුමිත් අයියාගේ 'සිංහල වචන' වලින් අපි හැමෝගෙම හිත් වල තිබුණ වේදනාව එළියට දාන්න චූටි උත්සාහයක් ගත්තා. ඒ වචන ඒ විදියටම 'දෙමළ වචන' කරන්න පලනි අයියා පුළුවන් උපරිමය කරා. ඒ දරුවන්ට ඉගෙන ගන්න ඕනි පොඩි පොඩි දේවල් ටිකක් ගෙනියන්න මේක සංවිධානය කරපු ලංකාඩේලි ආයතනය අමතක කරලා තිබුණේ නෑ. වයිට් බෝඩ් එකක්, වගේම සිංහල-දෙමළ-ඉංග්‍රීසි ශබ්දකෝෂයක් ඒ දරුවන්ට ඒ මොහොතෙම පරිත්‍යාග කරේ තවත් අවස්ථාවක මීට වඩා දෙයක් මේ දරුවන්ට දෙන්න ඕනි කියන ඒකායන අරමුණ ඇතුව.


පරිත්‍යාග කරන මොහොත....


          ශබ්දකෝෂය ඒ දරුවන්ට දුන්න ගමන්ම ඒ පොඩි උන් ටික ඒක වටේට එකතු වුණා. ෆොටෝ එකකට ගන්න වගේ බොහොම අපූරුවට ඒක වටේ එකතු වුණේ ඒ වගේ දෙයක් මීට කලින් කවදාවත් දැකපු නැති ගානට (ඇත්තටම ඒක එහෙම වෙන්න ඇති කියලා පස්සේ හිතුණා..).

ඩික්ෂනරි එක වටකරගෙන....


         ඒ ළමයින්ගේ චූටි ඉස්කෝලෙන් පිටත් වෙලා අපි ආවේ ග්ලේනිගල්ස් දෙමළ විද්‍යාලයට. ඒ ඉස්කෝලේ සාමාන්‍ය පෙළ වෙනකං අධ්‍යාපන පහසුකම් තියෙන ඉස්කෝලයක්. 'අධ්‍යාපන පහසුකම් තිබෙන' කියලා කිව්වට ඒක බොහොම දුෂ්කර ඉස්කෝලයක් කියලා අපිට තේරුණේ කැඩිච්ච සිංහල භාෂාවෙන් හදවතේ තිබුණ කතාව වචන කරන්න උත්සාහ කරපු විදුහල්පතිතුමාගේ කතාව ඇහුවම.

      අපි වාඩි වෙලා හිටපු පන්තිකාමරේට ඉස්කෝලේ ඇඳුමින් සැරසුණ ළමයි එකාදෙන්නා පිරෙන්න පටන්ගන්නවත් එක්කම විදුහල්පතිතුමා කතාව පටන් ගත්තා. (නිවාඩු දවසක් වුණත් ඒ ළමයි හිටියේ ඉස්කෝලේ ඇඳුමින්. අපි එනවා කියලා දැනගෙන, ඒ විදියට එන්න කියලා ළමයින්ට උපදෙස් දෙන්න ඇත්තේ විදුහල්පති තුමා වෙන්න ඇති.)

          මේ එතුමගේ වචන වලින් මගේ හිතට ගොඩා..ක්ම දැණුන වචන ටිකක්......
       "බලන්න මේ ළමයින්ගේ මූණු දිහා. පව්. ගොඩක් අසරණ ළමයි. මේ වගේ ළමයි හැමදාම මේක ඇතුලෙම පරවෙලා යනවා. මං මේ ඉස්කෝලේ වැඩ බාරගත්තේ 2014 අවුරුද්දේ. ඒ වෙනකං මේ ඉස්කෝලෙන් ඕ ලෙවල් පාස් වුණේ අවුරුද්දට එක්කෙනෙක් වගේ. ඒත් මං ආවට පස්සේ මේකට හේතු හොයලා බැලුවා. කරන්න පුළුවන් හැමදේම කරා. කොහොමහරි ළමයි උනන්දු කරලා ගිය අවුරුද්දේ රිසල්ට් ටිකක් වැඩි කරගන්න පුළුවන් වුණා. මගේ ඔෆිස් එක ළඟ රිසල්ට් දාලා ඇති. ටිකක් බලන්න.



          "ඒක බලනකොට ඔයලට තේරෙයි මේ ළමයි හැමෝම ඉංගිරිසි ෆේල්. මේ ඉස්කෝලෙට ඉංග්‍රීසි ගුරුවරයෙක් ඉන්නවා. ඒත් එයා තළවකැලේට කිලෝමීටර් 50ක් විතර ඈත. තළවකැලේ ඉඳන් මෙහෙට ත්‍රී වීල් එකක 350ක් විතර ගන්නවා. ඉතින් ඒ නිසා අර ටීච මෙහෙට එන්න ටිකක් අදිමදි කරනවා. මුලදි සතියට දවස් 2ක් විතර ආවා. දැන් එහෙමවත් නෑ. පව් මේ ළමයි. ඔය මහත්තුරු පුළුවන් නම් ඉස්සෙල්ලම ඒ ප්‍රශ්නෙට මොනාහරි දෙයක් කරලා දෙනවා නම් මේ ළමයි වෙනුවෙන් ඒක ලොකු උදව්වක්."
       
  මේ දේවල් එකින් එක ඇහෙනකොට මහා සංවේගයක් හිතේ ඇති වෙන්න ගත්තා...
           "දැන් මේ මහත්තුරු ආපු වෙලේ ඉඳන් ළමයින්ගේ ෆොටෝ ගන්නවා. මට ඒකට මුකුත් කියන්න බෑ. ඒත් එහෙම අවසර නෙතුව ඉස්කෝලෙකට ඇවිල්ලා ෆොටෝ ගහන එකෙන් මට ඉන්ක්වයරි එකකට එන්න කියයිද දන්නෙත් නෑ. එක සැරයක් එහෙම වුණා. අපි මේ ළමයින්ට අරවා දෙන්නම්, මේවා දෙන්නම් කියලා ෆොටෝ ගහගෙන ගිහින් අන්තිමට දේශපාලන පක්ෂෙකින් ඒ ෆොටෝ පත්තරේ දාලා ආටිකල් එකක් කරලා තිබුණා. අනේ මේ මහත්තුරු මාව ඒ වගේ තත්වෙකට පත් කරන එකක් නෑ කියලා මං හිතනවා."

           කාගෙවත් වැඩි අවධානයක් නොලැබුණ වතුකරේ ඉන්න මේ අහිංසක දරුවන්ට උදව් දෙන්නම් කියලා සමහර රාජ්‍ය නොවන සංවිධාන වලින් ඇවිත් මේ විදියේ ෆොටෝ ගහන් ගිහින් ආයේ පැත්ත පලාතේ පස් පාගන්නේ නැති බව විදුහල්පති තුමාගේ නොකියූ වචන වලින් අපිට තේරුණා. ඒ ආයතන වල 'හිත උණුවෙන නියෝජිතයෝ' ෆොටෝ කෑලි ටිකක් පෙන්නලා මව් සංවිධානයෙන් දත ගලවන හැටි මට මැවිලා පෙනුණා. පව් අසරණ දරුවෝ...

          මේක මේ දරුවන්ගේ ජාතියේ ප්‍රශ්නයක් නෙවෙයි කියලා අපිට වැටහුණා. තමන්ගේ ජාතියේම යැයි කියාගන්න බොහොමයක් දේශපාලඥයෝ මේ පැතිවල ලයිට් කණුවක් කණුවක් ගානේ අරක්ගෙන ඉන්නේ ඒ පැත්ත තමන්ගේ කියලා ප්‍රදර්ශණය කරන්න. ඒත් ඡන්දෙ කාලෙට විතරක් මේ පැත්තේ පස් පාගන මේ උදවිය ආයේ මේ දිහා හැරිලාවත් බලන්නැති විත්තිය වැඩි දුරට කතා කරනකොට අපිට තේරුණා. සමහර විට ඒ උදවියගේ උවමනාව මේ ළමයි හොඳට ඉගෙන ගන්නේ නැතුව ඉන්න එක වෙන්න ඇති. හොඳින් ඉගෙන ගත්තොත් මේ දරුවෝ ලොකු වුණ දවසකට වතු වල තේ දලු කඩන්න, ඒ වැඩ කරන්න කට්ටිය නැති වෙනවනේ. ඉතින් ඒ නිසා මේ විදියේ අඩු සැලකිලි මේ පැත්තට ඇති කියලා මට හිතුණා.
          ඒත් මේ අහිංසක දරුවෝ.... ඒ දරුවන්ටත් රටේ අනිත් දරුවන්ට වගේම ඉගෙන ගන්න අයිතියක් තියෙනවා. ඒත් මේ දරුවන්ට ඒ වරප්‍රසාද ගොඩක් අහිමි කරලා තියෙන්නේ හරියට මේ දරුවෝ මොකක්හරි ලොකු වැරැද්දක් කරලා වගේ...

          දෙමළ ජනයා වෙනුවෙන් කිය කිය කෑ මොර දුන්න ප්‍රභාකරන්වත්, දැන් TNA එක වත් මේ අයට මුකුත් සෙතක් කරන්නේ නැතුව ඇතිද.. ඒ ප්‍රශ්නේ මම මගේ යාලුවෙක්ගෙන් ඇහුවා. නෑ බං. යාපනේ දෙමළ කියන්නේ කුලයෙන් උසස් අයලු. වතුකරේ අය කුලයෙන් පහත්ලු. දෙමළ අය අතරේ ඔය කුල ප්‍රශ්නේ ගොඩක් තියෙනවා. ඒ නිසා කුලයෙන් උසස් අය කුලයෙන් පහත් අය උඩට එනවට කැමති නෑ....හ්ම්ම්ම්ම්

          ඉතින් මේ අහිංසක දරුවෝ මුළු රටෙන්ම කොන් වෙලා නේද කියලා බොහොම වේදනාවක් හිතට දැණුනා. අරන් ගිහිපු බොහොම සුළු පරිත්‍යාග කිහිපයක් ඒ ඉස්කෝලෙටත් දෙන්න සංවිධායකවරු ඉදිරිපත් වුණා....

විදුහල්පතිතුමාට විජය අයියා ශබ්දකෝෂයක් පරිත්‍යාග කරන මොහොත..


තෑගි වටකරගෙන ඉන්න ඒ දරු දැරියන්....


බලාපොරොත්තුවේ හසරැල්.....

 ඉදිරියේදී මේ දරුවෝ වෙනුවෙන් යමක් කරන අධිෂ්ඨානෙන් අපි ඒ ඉස්කෝලෙන් පිට වෙලා ආවා....


පසු සටහන :

    අපේ ගමනේ දෙවන දවසේ  ලිඳුළ ගමේ එක ඉස්කෝලෙක ග්‍රවුන්ඩ් එකේ කාන්තා ක්‍රිකට් තරඟාවලියක් සංවිධානය කරලා තිබුණා. විවිධ පැති වලින් ඒකට ටීම් 11ක් සම්බන්ධ වෙලා හිටියා.

තරඟ ආරම්බයට පෙර කණ්ඩායම් පෝලිමේ...

තරඟය අතරතුර...

කුසලාන...

තරඟය අතරතුර අපේ අය..
ඩ්‍රයිවර් අයියා, මම, සත්සර, රූපේ(සත්සරට පිටුපස), හිමාෂි, උපුල් අයියා, මලිත..


ටජ්මහල්, මුම්ටාස් සහ සාජහාන්.....:D

ඒ තරඟයේ සියලු බරපැන නෙළුම්යාය බ්ලොග් සංසදය සහ අඩයාලම් සංවිධානයෙ එකමුතුවෙන් දරලා තිබුණා. තරඟ සියල්ල අවසානයේ ත්‍යාග ප්‍රදානෝත්සවය පැවැත්වුණා. ඒත් එක්කම විශේෂ දෙයක් සිදුවුණා. සිංහල බ්ලොග් ලිපි පළවෙන්න තියෙන නෙළුම් යාය වගේම දෙමළ භාෂාවෙන් ලිපි පළකරන්න තාමරෛකුලම් කියන වෙබ් අඩවිය විවෘත කිරීම හිමාෂි කරුණාරත්න සහ පලනි විජයකුමාර් අතින් සිදු වුණා...

සංකේතාත්මකව තාමරෛකුලම් විවෘත කරන අවස්ථාව...


       ගමනේ සියලු මිහිරි මතකයන් එක්ක ඒ වගේම හිතේ කොනක ඉපදුණ ලොකු සංවේගයකින් මුලු හිතම පුරවගෙන ආපහු එන්න පිටත් වුණා. යනකොට කටින් පිටවුණ වචන සේරම ගොලු වෙලා එනකොට නිෂ්ශබ්දව හිටියේ මහන්සියටත් වඩා හිතේ තිබුණ දුකට වෙන්න ඇති......

        ගමනට සම්බන්ධ වුණ හැමෝම ඉතාම මිත්‍රශීලී උදවිය. සත්සර, හිමාෂි, සුමිත් අයියා, රූපේ, මලිත, අලුපාට ලියන රනා(උඹේ නම මතක නෑ බං), ඇනෝපීලිස්, විජය අයියා, සම්පත් අයියා සහ අක්කා, අනිත් අක්කා(නම මතක නෑ), උපුල් අයියා, නිශාන්ත අයියා, කටුස්සා, දයා අයියා, ඩ්‍රයිවර් අයියා, ගමනේ අවසන් අදියරේදි සම්බන්ධ වුණ US වල අයියයි අක්කයි :D , එතකොට හිමාෂිගේ ඔෆිස් එකේ අනිත් අයියයි හැමෝම ආදරෙන් මතක් කරන ගමන් මේ ලියමන අවසන් කරනවා...
ආයෙත් දවසක මුණ ගැහෙමු..........

Monday, September 29, 2014

නවක කවියන්ට කිවිඳියන්ට උපදෙස් කීපයක්..........෴




          පසුගිය සෙනසුරාදා පැවති 'කවි සියපත' දොරට වැඩීමේ උත්සවයේදී රත්න ශ්‍රී විජේසිංහයන් සහ මහාචාර්ය සමන්ත පෙරේරා කිවි වරුන් කළ දේශන ආශ්‍රයෙන් රචනා කරන ලදි.....



* අතීතකාමයෙහි ගැලෙන්න එපා
(මා මෙතෙක් කළ වැරැද්දක්)
- අපි හැමෝම කැමතියි අතීතයට ආදරේ කරන්න. අතීතයේ ලස්සන සිදුවීම් වලට ආයෙත් යන්න. ඒත් ඒ දේවල් වලට ආදරයෙන් ලියන කවියෙන් සමාජයට යහපතක් වෙන්නේ බොහොම අඩුවෙන්. කවියෙක්ගෙන් විය යුතු සමාජ බලපෑම පසෙක ලා ස්වයං වින්දනයක් පමණයි එයින් ලැබෙන්නේ.

Friday, June 6, 2014

මොළේ විකාර කරගන්න අකමැතිද? එහෙනං කියවන්න එපා......෴




          අම්මෝ...සෑහෙන්න කාලෙකින් නේ මං මේ පැත්තේ ඇවිත් තියෙන්නේ. සිතුවිලි හන්තාන සිතුවිලි නැතුව වල් වැදිලානේ. බොහොම අමාරුවෙන් සුද්ද කරලා ආයෙත් ලියන්න පටන් ගන්න ඕනි කියලා හිතුවා.
පහුගිය කාලේ ඇකඩමික් වැඩ නිසා සෑහෙන්න හිර වෙලා හිටියේ. 5වෙනි සෙමෙස්ටරේ තරම් අමාරු එකක් කැම්පස් ජීවිතේටම හම්බවුණේ නෑ....කොහොමහරි ඒ එක්සෑම් එකත් ඉවර කරගෙන තමයි ආයෙත් මේ පැත්තේ ආවේ......

          අන්තිමට ලිව්වේ කවදාවත් කියවලා ඉවර කරන්න බැරි ලිපියක්.  ඒකේ පසු සටහනේ පොරොන්දු වුණ විදියට ඔන්න ආයෙත් මේ try කරන්නේ Paradox ගැන කතා කරන්න.

          Paradox ගැන අහලා තියෙනවද? Paradox එහෙම නැත්නම් 'විරුද්ධාභාසය' කියලා කියන්නේ 'තේරුම් ගන්න දුෂ්කර දෙයක්' හඳුන්වන විදියලු. ඒත් ඒ වචනේ නිවැරදි අර්ථය ඒ විදියට ගන්න අමාරුයි. ඒ සම්බන්ධ කරුණු මොනවගේද කියලා හොයලා බැලුවම තමයි ඒකේ ඇත්තම තේරුම හිතට වදින්නේ. Paradox එකක් කියන්නේ ඇත්තටම හරිම රසවත් දෙයක්. ඒවා ගැන කල්පනා කර කර ඉන්න එක හරිම ෆන් වැඩක්. Paradox එකක් කියන්නේ මොනවගේ දෙයක්ද කියලා චූටි අවබෝධයක් ගන්න පුළුවන් වෙයි මෙන්න මෙතනින් ගිහින්...

           Paradox ගැන මම දැනගෙන හිටියේ බොහොම ටිකයි. ඒත් Google දෙවියන්ගෙන් ඒ ගැන ඇහුවම මෙන්න බොලේ Paradox ලිස්ට් එකක්ම එතුමා මට දුන්නා.

Saturday, March 1, 2014

ස්ත්‍රී ආධිපත්‍යයක විස්මය | The Indian Honey bee ෴

          
          දොරකඩ අඹ ගහ මල්වලින් පිරිලා. අඩි 7ක් විතර උස, අඹ මලින් පිරුණ අඹ ගහ දකින මට පොඩිකාලේ අඹ ගස් වලට ගල් ගහලා අඹ කඩාගෙන කාපු හැටි මතක් වෙනවා. අඩි 40ක් 50ක් විතර උස අතු අග තියෙන අඹ ගෙඩියක් කඩාගන්න කොච්චර නම් ගල් පොලු ගහන්න ඇතිද ඒ කාලේ. සොබාදහම වෙනස් කරලා. දැන් අතින් කඩන්න පුළුවන් අඹ හැදෙන ගස්. බඩ් කරපු අඹ......

Wednesday, October 30, 2013

ඔච්චර මගේ ළඟට එන්න එපා අනේ.....෴


"ඔච්චර මගේ ළඟට එන්න එපා අනේ...."
"මගෙන් ඈත් වෙලා ඉන්නවා..."

"ආයේ මේ පැත්තේ පස් පාගන්න එපා...."
"ආයේ මට කිට්ටු වෙන්න හිතන්නවත් එපා....."
"මට ඉඩ දෙන්න......."

          එදිනෙදා ජීවිතයෙදි අපි මේ වගේ වැකි ගොඩක් භාවිතා කරනවා නේද. හිතලා තියෙනවද ඇයි අපි ඒ විදියේ දේවල් ගැන කියනකොට 'සීමාවක්' ගැන සඳහන් කරන්නේ කියලා..............

Monday, August 5, 2013

ඇයි කෙල්ලෝ ගොඩක් බොරු කියන්නේ......???

සෑහෙන්න කාලෙකට පස්සෙයි සිතුවිලි හන්තානෙන් ඔයාලව මුණගැහෙන්නේ.
"මොකද දැන් බ්ලොග් එක ලියන්නැත්තේ..?"
"සිතුවිලි හන්තාන පාළුවට ගිහිල්ලා.."
"ඔයාගේ ටෝක් තියෙන ලින්ක් එකක් නැතුව දැන් නිව්ස් ෆීඩ් එක පාළුයි."
"රන්දුනුට දැන් කවි අමතක වෙලාද..?"
"ලඟදි සිංදුවක් එහෙම ලිව්වේ නැද්ද? ට්‍රාන්ස්ලේට් කරෙත් නැද්ද..?"
කියලා සැරින් සැරේ මගෙන් අහපු සිතුවිලි හන්තාන ගැන හොයලා බලපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි.
ඇකඩමික් වැඩත් එක්ක හිර වුණාම ටිකක් මේක ලියන එක අතපසු වෙනවා තමයි......

වල් පල් පැත්තක දාලා අද ලියන්න ආපු දේ ගැන කතා කරමුකෝ...
(කෙල්ලොන්ගෙන් නොසෑහෙන්න බැනුම් අහන්නයි මං මේ හදන්නේ ..... :p)


Friday, January 18, 2013

ඕනෑම සංඛ්‍යාවක වර්ගය ලබා ගැනීමේ කෙටි ක්‍රමය ෴

        සිතුවිලි හන්තානට එන නංගිලා මල්ලිලා කිහිප දෙනෙක්ම මගෙන් ඉල්ලුවා අධ්‍යාපනිකව වැදගත් වෙන මොනා හරි ලියන්න කියලා. ඉතින් මේ පෝස්ටුවෙන් ඒ නංගිලා මල්ලිලා ගේ බලාපොරොත්තුව ඉෂ්ඨ වෙයි කියලා හිතනවා.

Wednesday, November 28, 2012

සිංහලෙන් type කරන එක ප්‍රශ්නයක්ද?

හැමදාම කවි, සිංදු, නිසඳැස් ලියනවා වගේම ඒවා ලියන්න කැමති අයට පොඩි උදව්වක් කරන්නත් ඕනි කියලා ඔන්න මට හිතුණා. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි "අනේ, අපි කොහොමද සිංහලෙන් type කරන්නේ...?" කියන එක.සමහරු හිතනවා එහෙම සිංහලෙන් type කරන්න නම් සිංහල keyboard එක දැනගෙන ඉන්න ඕනි කියලා. නෑ නෑ.එහෙම ඕනි නෑ..
ඒ වගේ නිර්මාණ කරන අයට විතරක් නෙවෙයි. facebook එකේ, තමන්ගෙම computer එකේ සිංහලෙන් type කරන්න ඕනි ඕනම තැනකට මම මේ කියලා දෙන්න යන ක්‍රමය ගොඩක් වැදගත් වෙයි. 
මේ  software එක Realtime Singlish කියලා තමයි නම් කරලා තියෙන්නේ. "RSinglish" කියලා තමයි කෙටියෙන් හඳුන්වන්නේ. 'R' කියන්නෙත් හරි ලස්සන අකුරක් නේද?(Randunu පටන්ගන්නෙත් R ගෙන් නේ......:D)
මේ software එක පාවිච්චි කරන්න කලින් මම තවත් software පාවිච්චි කරා සිංහලෙන් type කරන්න. ඒත් ඒ හැම එකකටම වඩා මේක ලේසියි කියලා මට දැණුනේ මෙන්න මේ හේතු නිසා.
- වෙන තැනක type කරලා අදාල තැනට ගේන්න ඕනි නැති වීම.
- එකම තැන සිංහලෙන් වගේම English වලිනුත් type කරන්න පුළුවන් වීම.
- අකුරු type කරන්න පහසු වීම.
වැල්වටාරම් දෙඩෙව්වා වැඩිද මංදා. එහෙනන් මං මේ වැඩේ ගැන කියන්නම් කෝ..............

Related Posts Plugin for WordPress, Blogger...