පේරාදෙණියට වහිනවා. අරුණාචලම් එකේ ඉස්සරහා කාණු වල වතුර ගලාගෙන යනවා.
වැස්ස.
මගේ ළමා කාලයේ ගොඩක්ම සුන්දර කාලයක් තමයි වැහි කාලය.
( මගේ ළමා කාලය ගැන දාපු පළවෙනි පෝස්ට් එක....
මාසෙකට විදුලි බලය නැති වෙලා යනවා නම්....෴ )
වැස්ස කාලෙට හැම දෙයක්ම සුන්දරයි කියලා මට හිතුණා. වැඩි වර්ෂාපතනයක් නැති අපේ ගමට වහින්න පටන්ගන්නකොටම ගොඩාක් ලස්සන සුවඳක් එනවා. අක්කා ඒ සුවඳට කියන්නේ නැවුම් සුවඳ කියලා. ඒ පුරුද්දට අදටත් මං ඒ සුවඳට කියන්නේ නැවුම් සුවඳ කියලා.
ඉතින් ඒ නැවුම් සුවඳත් එක්කම වැස්ස සැර වෙනකොට අක්කටයි මටයි මාර සතුටුයි. ඒ වැස්සට පැනලා නාන්න. "ඉඳලා ඉඳලා වහින වැස්සට නාන්න හොඳ නෑ ළමයි.ඔය සේරම කුණු හෝදගෙන වහින්නේ.ටිකක් ඉඳලා නාන්න." ඒ අම්මගේ කටහඬ. ඒක ඇහිලා විනාඩි පහෙන් අපි දෙන්නම එළියේ. (අම්මා කිව්ව ඒ කතාවේ ඇත්තක් තිබුණා කියලා පස්සේ තමයි අපි දැනගත්තේ. කාලෙකින් වහින වැස්සේ ආම්ලික ගතිය වැඩියි වගේම දූවිලි ප්‍රමාණයත් වැඩියිලු.)
වැස්සට පැනලා නානවා කියන්නේ හරිම වෙනස් අත්ත්දැකීමක්. වැහි බින්දු වලට මූණ හරවගෙන හතරවටේ දුව දුව අපි කරේ නාන එක විතරක්ම නෙවෙයි. අපේ "වාරිමාර්ග" වැඩ පටන්ගන්නෙත් වැහි කාලෙත් එක්කම තමයි. වහිනකොට ගේ ලඟින්ම ගලන පොඩි වතුර පාරක් තිබුණා. අපි ඒ කාණුව හරස් කරලා බැම්මක් බඳිනවා වැලි වලින්ම. ටික වෙලාවක් තිස්සේ වතුර පාර රඳව ගත්තම ඔන්න අපේ වැඩේ සාර්ථකයි. ඊට පස්සේ පැපොල් බටයක් අරන් අර බැම්මෙන් බෝක්කුවක් හදනවා. ඒ විදියේ පැපොල් බට දෙක තුනක්ම බැම්ම හරහා දැම්මම අපේ වාරිමාර්ග ව්‍යාපෘතිය අවසානයි.
එතනින් ඒ වැඩේ නවතින්නේ නෑ. පරණ පත්තර අරං හදන කඩදාසි ඔරු තරඟය තමයි ඊළඟට පටන් ගන්නේ. වතුර පාරේ උඩහ ඉඳං අර බැම්ම ළඟට වෙනකං ඔරු තරඟේ තියෙනවා. අනේ ඉතින් ඔරු දිනවන්න අපි දෙන්නා දඟලන දැඟලිල්ලට වාරිමාර්ග ව්‍යාපාරය සුනේ සුං.
පැයක් දෙකක් එක දිගට වැස්සොත් තව තව අපූරු දේවල් වෙනවා. ගෙදරට මීටර 200ක් විතර දුරින් තියෙන ආර උතුරනවා. ඒ කිව්වේ ඒ ආර ගලාගෙන යන්නේ පාර හරහා තියෙන බෝක්කු කටවල් තුනක් ඇතුලෙන්. වතුර පාර ගලාගෙන යන්න බෝක්කු කටවල් මදි උනාම පාර උඩින් වතුර ගලන්න ගන්නවා. ඒ සිදුවීමට අපේ ගමේ කියන්නේ "ආරෙන් වතුර දානවා" කියලා. ආරෙන් වතුර දාලා කියලා කොහෙන් හරි ආරංචි වෙච්ච ගමන් අපි දුවන්නේ ඒක බලන්න. වතුර ගොඩක් නැති නම් වතුර පාර උඩින් එගොඩටයි මෙගොඩටයි යන එක අපිට හරිම සතුටක් විනෝදයක්. හැබැයි වතුර පාර වැඩි නම් කිට්ටු වෙන්නත් බයයි. ගලාගෙන එන දර කෑලි, කොට, පොල් වලින් ඒ වතුර පාර ස්ව්යංපෝශිතයි.
වැස්ස ඔය වගේ ප්රීතිජනක දේවල් ඇති කරා වගේම වහින්න පටන්ගන්නකොටම දුක හිතෙන අවස්ථාත් එමටයි. සමහර කාලවලට වී වපුරලා ආපු දවසෙම වහින්න ගන්නවා. අන්න එදාට නම් ගෙදර හැමෝම නිෂ්ශබ්දයි. හරි අවබෝධයක් තිබුණේ නැතත් වැස්ස සැර වෙනකොට තාත්තගේ හුස්ම හෙලන සද්දේ වැඩි වෙනකොට අපිට තේරෙනවා වහින එක හොඳ නෑ කියලා. (වැස්ස ගොඩක් සැර වුණොත් වපුරපු වී සේරම වතුරේ ගහගෙන යනවා වගේම ආයෙත් වපුරන්න වෙනවා කියලත් අපි පස්සේ දැනගත්තා.)
එහෙම කාල වලට නම් 'වී' කියන නම ඇහෙනකොටත් කේන්තියි. දවස් තුනෙන් ඉවර වෙන්න තිබුණ කොල වැඩ මාසයක් විතර ඇදෙනවා. ඒ තෙමුණ වී වේලන්න ඕනි නිසා.
මේ තියෙන්නේ ගොයම් කපපු දවසෙම වැස්සට අහු වුණ අපේ කුඹුරේ දුක්බර ඡායාරූපයක්. මේක ගත්තේ නම් මෑතකදි.
අපේ කුඹුර |
෴ රන්දුනු යසරංග
සැ.යු - ලිව්වේ මීට සති දෙක තුනකට පෙරය. දැන් නම් පේරාදෙණියට පායනවාය.
Images - From Google Search
අපේ කුඹුරත් තියෙන්නේ වෙල්යායේ පාතම තැන.ඒක නිසා අන්තිමට වතුර බහින්නේ අපේ කුඹුරේ.ඒක නිසා වපුරපු දවසේ හරි ඊට පස්සේ සතියේ කවදාහරි වැස්සොත් අපේ කුඹුර පාලුවෙනවා.
ReplyDeleteඅයියෝ... ඒ පාළු වුණා කියලා ඇහෙන වචනෙ මුළු ගේ පුරාම මහ භයානක මූසල කමක් ඇති කරනවා නේ. හ්ම්ම්, බොහොම ස්තුතියි කමෙන්ටුවට.
Deleteයසයි කියන්නේ මාත් කැමතිම වහින කාලෙට. ඉස්සර ඔය විදිහටම බෝක්කුවේ එක පැත්තකින් ලීයක් තේක්ක කොලයක් හරි දාලා විගහට අනික් පැතත්ට දුවගෙන ගිහින් බලනවා ඒක එනවද වතුර පාර දිගේ කියලා. ඒ කාලේ මාරම ආසයි. දැනුත් අපේ කුඹුරු වැහිවලට අහුවුනොත් මේ කියල තියනව වගේ ගෙදර ඇත්තන්ට මාරම දුකයි. ගිය වතාවේ වැස්සෙන් විනම්බෑසියක් වෙන්ඩ කලියෙන් අර සුනාමියද මොකාද කියන්නේ. අන්න ඌව ගෙන්නලා විගහට කොල වැඩ ටික අහවර කරා...ලස්සන පෝස්ටුව ඈ...
ReplyDeleteමටත් හරි සතුටුයි තවත් කෙනෙක්ගේ මතකයක් අවදි කරන්න පුළුවන් වුණ එක ගැන. බොහොම ස්තුතියි කමෙන්ටුවට.
Deleteවැස්ස තරම් ආස දෙයක් මගේ ජීවිතේ නැද්ද මන්දා..මට නම් සුන්දරයි..
ReplyDeleteඅනේ මන්දා. මටත් ගොඩක් දුරට එහෙම හිතිලා තියෙනවා. ඒත්......
Deleteමමත් පොඩිකාලෙ ඉදන්ම වැස්ස දිහා බලන් ඉන්න හරිම ආසයි...වයසින් වැඩිමල් උනා කියලා ඒ ආශාව යටපත් වෙලා නෑ...හීන් පොද වැස්ස වැටෙන වෙලාවට අමුතුම ලස්සනක් තියෙනවා...
ReplyDeleteදැනටත් රෙදි වේලගන්න ක්‍රමයක් තියෙනවා නම් මමත් වැස්සට ගොඩක් කැමතියි..........
Deleteඒ වගේම කුඹුරේ වැඩ ඉවර නම්....:D