Friday, January 2, 2015

පෙර දිනයක මා පෙම් කල යුවතිය සිය පුතු නලවනවා......෴




ඔයාට මතකද ඒ දවස් වල අපේ ආදරේ....
ගෙදර තිබුණ නා ගහ යටට වෙලා ඔයා මං එනකං වැටට උඩින් පාර දිහා බලාගෙන හිටියා...
ඔයා හිතුවේ ඔයා පොත කියවනවා කියලා......
ඒත් ඔයාගේ ඇස් තිබුණේ පොතේ නෙවෙයි කියලා පොත විතරක් නෙවෙයි, නා ගහේ කොළ මල් අතු හැමදේම මට ගතු කිව්වා.....


ඔයා පළවෙනි පාරම සරසවි වරම් ලැබුවම මගේ සරසවි හීනය, හීනයකට වඩා හැබෑවක් කරගන්න අනිවාර්යය වුණේ ගෙදර හිටපු එකම රෝස පොහොට්ටුව හොරෙන් කඩාගෙන යන එක හොඳ නෑ කියලා මගෙ හිතම මට වාරණ දාපු නිසා කියලා ඔයා දන්නවද...?
බඩට හරියට කෑමක් වත් නැතුව මං කැම්පස් එන්න මහන්සි වෙනකොට ඔයත් නොකා නොබී යශෝධරා පිළිවෙත රැක්කද කියලා අදටත් මගෙ හිත කෑ ගගහ අමුතු චෝදනාවක් කරනවා......

ඔයාගේ ලස්සන මේ ලෝකෙ කිසිම දේකට සමාන කරන්න බෑ කියලා මං කියනකොට ඔයා ආදරේ නුරාව පිරුණු ඇස් වලින් මගේ දිහා බලලා "බොරූ......" කියලා අහිංසක විදියට මගේ උරහිසට ගහපු වෙලාවේ මං බොරුවට තරහ වුණා මතකද ඔයාට?
ඊට පස්සේ ඔයා මගේ ලස්සන ගැනත් කියලා මාව යාලුකරගත්ත හැටි.මතකද?
කාලෙත් එක්ක අපි දෙන්නගෙම ලස්සන වියැකිලා ගියත් අපේ ආදරේ ලස්සන එදා වගේම අදටත් එහෙමමයි නේද?

නුරාව පිරුණු දිලිසෙන ඇස් වලින් මගේ දිහා බලලා මාව ආදරෙන් උමතු කරපු ඔයා, ඒ ඇස් වලම දයාව සෙනෙහස පුරෝගෙන චූටි පුතා දිහා බලං ඉන්නකොට මට ඔයා ගැන පුදුමාකාර සෙනෙහසක් ඇති වෙනවා. ඔයා කොච්චර හොඳ අම්ම කෙනෙක්ද.....
වැඩ ඇරිලා මං ගෙදර එනකොට ඔයා පුතා නළවන්න කිව්වේ මං ඒ දවස් වල අපේ ආදරේ ගැන ලිව්ව සින්දුවක් නේද?
ඔයා ඒක හරිම ආදරණීය විදියට කිව්වා........

ආදරෙයි මං ඒ චූටි කෙල්ලට...
ආදරෙයි මං මගේ සොඳුරියට...
ආදරෙයි මං මේ මගේ දරුවන්ගේ අම්මට.....


~~~~~~~~~~~~~~~~~~~~
පෙර දිනයක මා පෙම් කල යුවතිය
සිය පුතු නලවනවා..
මගේම ගීයක් නැලැවිලි ස්වරයෙන්
ඈතින් මතු වෙනවා...

නුරාව වෙනුවට ඉඳුනිල් දෙනයන
දයාව වෑහෙනවා..
සිනාසුනෙමි මම අවිහිංසක ඇය
කෝල බැලුම් හෙලුවා...

හිරුට සඳුට නොකියා හොර රහසේ
කාලය වියැකෙනවා..
නෙත් අදන්නට බැරි ලෙස රූසිරි
කෙමෙන් මැකි යනවා...

එදා වගේ තවමත් වැට අද්දර
නාමල් පූදිනවා..
නොකා නොබි දුක් වින්ඳ අතීතය
යළි මට සිහිවෙනවා...

පද රචනය - පන්ඩිත් ඩබ්.ඩී. අමරදේව 
සංගීතය     - සුනිල් සරත් පෙරේරා 
ගායනය     -  පන්ඩිත් ඩබ්.ඩී. අමරදේව


~~~~~~~~~~~~~~~~~~

2 comments:

  1. මේ ගීතය විවිධ පැති වලින් දකින්න පුළුවන් ගීතයක්. ඔයා දකින විදිහ ඔයා හිතට දැනෙන්න ලියලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්..ඔව්. කලා නිර්මාණයක් සමාජගත වුණාට පස්සේ ඒකේ අයිතිය රසවිඳින කෙනාට ලු නේ.. :) බොහොම ස්තුතියි කමෙන්ටුවට....

      Delete

Related Posts Plugin for WordPress, Blogger...