Saturday, July 18, 2015

තළවකැලේ ගියෙමි, සංවේගයට පත් වීමි.......෴



          ගිය මාසේ 30 වෙනිදා 'අපි ට්‍රිප් යමු ද' කියලා හිමාෂි (හිමාෂි කරුණාරත්න) කිව්වම නිකං ඉබ්බා දියට දැම්මම දැන් නෑවේ කිව්වා වගේ ංහා කිව්වා එකෙන්ම. බ්ලොගර්ස්ලාගේ ට්‍රිප් එකක්ලු, කට්ටිය 35ක් විතර සෙට් කරගන්න ඕනිලු අනං මනං කතා ටිකක් කිව්වම මාත් ඉතින් දන්න අඳුනන බ්ලොගර්ස්ලා සෙට් එකකට විස්තරේ කිව්වා. ඒත් ගොඩක් දෙනෙක් අදිමදි කරා. කොහොමහරි සත්සරයා මේකට සෙට් කරගන්න මට පුළුවන් වුණා.

මෙන්න මේ සබැඳියේ ගමන ගැන වැඩි විස්තර තිබුණා...

        කොහොමින් කොහොමහරි ගමන පිටත් වුණා. අවිස්සාවේල්ල-කිතුල්ගල-ගිනිගත්හේන හරහා මඟ දෙපස සිරි නරඹමින් මීට කලින් කවදාවත් මුණ නොගැහුණ බ්ලොග් කරුවන් එක්ක මුහු වෙමින් හෙමින් හෙමින් තළවකැලේට සේන්දු වුණා. ඒ අතරමඟදි ඩෙවෝන් ඇල්ල වගේම සෙන්ට් ක්ලෙයාර් ඇල්ලේ සිරි නරඹන්නත් අමතක කරේ නෑ....

ඩෙවෝන් ඇල්ල ළඟඳි... මම, සම්පත් අයියා, සත්සර, හිමාෂි සහ සුමිත් අයියා.

          තළවකැලෙන් මොකක්දෝ බැනර් එකක් ප්‍රින්ට් කරගත්තට පස්සේ අපිව ලිඳුළ කියන ගමට බොහොම පරිස්සමින් අරගෙන යන්න අපේ අති දක්ෂ ඩ්‍රයිවර් අයියට පුළුවන් වුණා( ඒ පාර බස් එකකට යන්න ගොඩක් අමාරු බොහොම පටු පාරක්...). :D


          කෑම ටිකක් පරක්කුයි කියලා පලනි අයියා (පලනි විජයකුමාර්) කිව්ව නිසා අපි ලිඳුළ ගමේ තිබුණ ඉස්කෝල දෙකක් බලන්න ගියා. මේ ගමනේ නියම අර්ථය හරියටම මට අවබෝධ වෙන්න ගත්තේ ඒ ඉස්කෝල දෙකට ගියාට පස්සේ. ඉස්සෙල්ලම ගියේ ලිඳුළ ගමේ තිබුණ ප්‍රාථමික ඉස්කෝලෙකට. එදා සෙනසුරාදා දවසක් වුණත් ඉස්කෝලේ චූටි ළමයි කිහිපදෙනෙක් හිටියා. එයාලගේ ගුරුතුමියත් එක්ක. ඒ ශිෂ්‍යත්ව පන්තියේ ළමයි ලු. එයාලගේ ටීච එයාලට ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් අමතර පන්තියක් කරනවා. අපි එක එක්කෙනා ඒ ක්ලාස් එකට ඇතුළු වෙන වාරයක් ගානේ ඒ ළමයි 'වෙල්කම් සර්, වෙල්කම් ටීචර්' කියලා කියන්න ගත්තේ හරිම අහිංසක විදියට. බෑන්ඩ් කණ්ඩායමක් ප්ලේ කරලා පිළිගැනීමේ ගීත කියලා බෙර ගහලා පිළිගන්න එයාලට වත්කමක් නැතත් බොහොම අහිංසක විදියට ඒ දරුවෝ අපිව පිළිගත්ත විදියට ඒ අහිංසක කමට ඉස් ඉස්සෙල්ලම ආදරේ හිතෙන්න ගත්තා.

       කලා හිත බ්ලොග් එක ලියන කළ්‍යාණ මිත්‍ර අයියා (සුමිත් අයියා)  ඒ දරුවෝ එක්ක බොහොම කුලුපගව කතා කරා(ඇත්තටම කතා කරා කියන එක වැරදියි. කතා කරන්න උත්සාහ කරා.) අපේ සෙට් එකේ සිංහල කාටවත් දෙමළ භාෂාව කතා කරන්න බෑ. ඒ ළමයින්ගේ වචන වලට ඇහුම්කන් දෙන්න බැරුව ඒ වෙලාවේ අපේ හිත් වලට ලොකු අසරණකමක් ලැජ්ජාවක් දැනුණා. සුමිත් අයියාගේ 'සිංහල වචන' වලින් අපි හැමෝගෙම හිත් වල තිබුණ වේදනාව එළියට දාන්න චූටි උත්සාහයක් ගත්තා. ඒ වචන ඒ විදියටම 'දෙමළ වචන' කරන්න පලනි අයියා පුළුවන් උපරිමය කරා. ඒ දරුවන්ට ඉගෙන ගන්න ඕනි පොඩි පොඩි දේවල් ටිකක් ගෙනියන්න මේක සංවිධානය කරපු ලංකාඩේලි ආයතනය අමතක කරලා තිබුණේ නෑ. වයිට් බෝඩ් එකක්, වගේම සිංහල-දෙමළ-ඉංග්‍රීසි ශබ්දකෝෂයක් ඒ දරුවන්ට ඒ මොහොතෙම පරිත්‍යාග කරේ තවත් අවස්ථාවක මීට වඩා දෙයක් මේ දරුවන්ට දෙන්න ඕනි කියන ඒකායන අරමුණ ඇතුව.


පරිත්‍යාග කරන මොහොත....


          ශබ්දකෝෂය ඒ දරුවන්ට දුන්න ගමන්ම ඒ පොඩි උන් ටික ඒක වටේට එකතු වුණා. ෆොටෝ එකකට ගන්න වගේ බොහොම අපූරුවට ඒක වටේ එකතු වුණේ ඒ වගේ දෙයක් මීට කලින් කවදාවත් දැකපු නැති ගානට (ඇත්තටම ඒක එහෙම වෙන්න ඇති කියලා පස්සේ හිතුණා..).

ඩික්ෂනරි එක වටකරගෙන....


         ඒ ළමයින්ගේ චූටි ඉස්කෝලෙන් පිටත් වෙලා අපි ආවේ ග්ලේනිගල්ස් දෙමළ විද්‍යාලයට. ඒ ඉස්කෝලේ සාමාන්‍ය පෙළ වෙනකං අධ්‍යාපන පහසුකම් තියෙන ඉස්කෝලයක්. 'අධ්‍යාපන පහසුකම් තිබෙන' කියලා කිව්වට ඒක බොහොම දුෂ්කර ඉස්කෝලයක් කියලා අපිට තේරුණේ කැඩිච්ච සිංහල භාෂාවෙන් හදවතේ තිබුණ කතාව වචන කරන්න උත්සාහ කරපු විදුහල්පතිතුමාගේ කතාව ඇහුවම.

      අපි වාඩි වෙලා හිටපු පන්තිකාමරේට ඉස්කෝලේ ඇඳුමින් සැරසුණ ළමයි එකාදෙන්නා පිරෙන්න පටන්ගන්නවත් එක්කම විදුහල්පතිතුමා කතාව පටන් ගත්තා. (නිවාඩු දවසක් වුණත් ඒ ළමයි හිටියේ ඉස්කෝලේ ඇඳුමින්. අපි එනවා කියලා දැනගෙන, ඒ විදියට එන්න කියලා ළමයින්ට උපදෙස් දෙන්න ඇත්තේ විදුහල්පති තුමා වෙන්න ඇති.)

          මේ එතුමගේ වචන වලින් මගේ හිතට ගොඩා..ක්ම දැණුන වචන ටිකක්......
       "බලන්න මේ ළමයින්ගේ මූණු දිහා. පව්. ගොඩක් අසරණ ළමයි. මේ වගේ ළමයි හැමදාම මේක ඇතුලෙම පරවෙලා යනවා. මං මේ ඉස්කෝලේ වැඩ බාරගත්තේ 2014 අවුරුද්දේ. ඒ වෙනකං මේ ඉස්කෝලෙන් ඕ ලෙවල් පාස් වුණේ අවුරුද්දට එක්කෙනෙක් වගේ. ඒත් මං ආවට පස්සේ මේකට හේතු හොයලා බැලුවා. කරන්න පුළුවන් හැමදේම කරා. කොහොමහරි ළමයි උනන්දු කරලා ගිය අවුරුද්දේ රිසල්ට් ටිකක් වැඩි කරගන්න පුළුවන් වුණා. මගේ ඔෆිස් එක ළඟ රිසල්ට් දාලා ඇති. ටිකක් බලන්න.



          "ඒක බලනකොට ඔයලට තේරෙයි මේ ළමයි හැමෝම ඉංගිරිසි ෆේල්. මේ ඉස්කෝලෙට ඉංග්‍රීසි ගුරුවරයෙක් ඉන්නවා. ඒත් එයා තළවකැලේට කිලෝමීටර් 50ක් විතර ඈත. තළවකැලේ ඉඳන් මෙහෙට ත්‍රී වීල් එකක 350ක් විතර ගන්නවා. ඉතින් ඒ නිසා අර ටීච මෙහෙට එන්න ටිකක් අදිමදි කරනවා. මුලදි සතියට දවස් 2ක් විතර ආවා. දැන් එහෙමවත් නෑ. පව් මේ ළමයි. ඔය මහත්තුරු පුළුවන් නම් ඉස්සෙල්ලම ඒ ප්‍රශ්නෙට මොනාහරි දෙයක් කරලා දෙනවා නම් මේ ළමයි වෙනුවෙන් ඒක ලොකු උදව්වක්."
       
  මේ දේවල් එකින් එක ඇහෙනකොට මහා සංවේගයක් හිතේ ඇති වෙන්න ගත්තා...
           "දැන් මේ මහත්තුරු ආපු වෙලේ ඉඳන් ළමයින්ගේ ෆොටෝ ගන්නවා. මට ඒකට මුකුත් කියන්න බෑ. ඒත් එහෙම අවසර නෙතුව ඉස්කෝලෙකට ඇවිල්ලා ෆොටෝ ගහන එකෙන් මට ඉන්ක්වයරි එකකට එන්න කියයිද දන්නෙත් නෑ. එක සැරයක් එහෙම වුණා. අපි මේ ළමයින්ට අරවා දෙන්නම්, මේවා දෙන්නම් කියලා ෆොටෝ ගහගෙන ගිහින් අන්තිමට දේශපාලන පක්ෂෙකින් ඒ ෆොටෝ පත්තරේ දාලා ආටිකල් එකක් කරලා තිබුණා. අනේ මේ මහත්තුරු මාව ඒ වගේ තත්වෙකට පත් කරන එකක් නෑ කියලා මං හිතනවා."

           කාගෙවත් වැඩි අවධානයක් නොලැබුණ වතුකරේ ඉන්න මේ අහිංසක දරුවන්ට උදව් දෙන්නම් කියලා සමහර රාජ්‍ය නොවන සංවිධාන වලින් ඇවිත් මේ විදියේ ෆොටෝ ගහන් ගිහින් ආයේ පැත්ත පලාතේ පස් පාගන්නේ නැති බව විදුහල්පති තුමාගේ නොකියූ වචන වලින් අපිට තේරුණා. ඒ ආයතන වල 'හිත උණුවෙන නියෝජිතයෝ' ෆොටෝ කෑලි ටිකක් පෙන්නලා මව් සංවිධානයෙන් දත ගලවන හැටි මට මැවිලා පෙනුණා. පව් අසරණ දරුවෝ...

          මේක මේ දරුවන්ගේ ජාතියේ ප්‍රශ්නයක් නෙවෙයි කියලා අපිට වැටහුණා. තමන්ගේ ජාතියේම යැයි කියාගන්න බොහොමයක් දේශපාලඥයෝ මේ පැතිවල ලයිට් කණුවක් කණුවක් ගානේ අරක්ගෙන ඉන්නේ ඒ පැත්ත තමන්ගේ කියලා ප්‍රදර්ශණය කරන්න. ඒත් ඡන්දෙ කාලෙට විතරක් මේ පැත්තේ පස් පාගන මේ උදවිය ආයේ මේ දිහා හැරිලාවත් බලන්නැති විත්තිය වැඩි දුරට කතා කරනකොට අපිට තේරුණා. සමහර විට ඒ උදවියගේ උවමනාව මේ ළමයි හොඳට ඉගෙන ගන්නේ නැතුව ඉන්න එක වෙන්න ඇති. හොඳින් ඉගෙන ගත්තොත් මේ දරුවෝ ලොකු වුණ දවසකට වතු වල තේ දලු කඩන්න, ඒ වැඩ කරන්න කට්ටිය නැති වෙනවනේ. ඉතින් ඒ නිසා මේ විදියේ අඩු සැලකිලි මේ පැත්තට ඇති කියලා මට හිතුණා.
          ඒත් මේ අහිංසක දරුවෝ.... ඒ දරුවන්ටත් රටේ අනිත් දරුවන්ට වගේම ඉගෙන ගන්න අයිතියක් තියෙනවා. ඒත් මේ දරුවන්ට ඒ වරප්‍රසාද ගොඩක් අහිමි කරලා තියෙන්නේ හරියට මේ දරුවෝ මොකක්හරි ලොකු වැරැද්දක් කරලා වගේ...

          දෙමළ ජනයා වෙනුවෙන් කිය කිය කෑ මොර දුන්න ප්‍රභාකරන්වත්, දැන් TNA එක වත් මේ අයට මුකුත් සෙතක් කරන්නේ නැතුව ඇතිද.. ඒ ප්‍රශ්නේ මම මගේ යාලුවෙක්ගෙන් ඇහුවා. නෑ බං. යාපනේ දෙමළ කියන්නේ කුලයෙන් උසස් අයලු. වතුකරේ අය කුලයෙන් පහත්ලු. දෙමළ අය අතරේ ඔය කුල ප්‍රශ්නේ ගොඩක් තියෙනවා. ඒ නිසා කුලයෙන් උසස් අය කුලයෙන් පහත් අය උඩට එනවට කැමති නෑ....හ්ම්ම්ම්ම්

          ඉතින් මේ අහිංසක දරුවෝ මුළු රටෙන්ම කොන් වෙලා නේද කියලා බොහොම වේදනාවක් හිතට දැණුනා. අරන් ගිහිපු බොහොම සුළු පරිත්‍යාග කිහිපයක් ඒ ඉස්කෝලෙටත් දෙන්න සංවිධායකවරු ඉදිරිපත් වුණා....

විදුහල්පතිතුමාට විජය අයියා ශබ්දකෝෂයක් පරිත්‍යාග කරන මොහොත..


තෑගි වටකරගෙන ඉන්න ඒ දරු දැරියන්....


බලාපොරොත්තුවේ හසරැල්.....

 ඉදිරියේදී මේ දරුවෝ වෙනුවෙන් යමක් කරන අධිෂ්ඨානෙන් අපි ඒ ඉස්කෝලෙන් පිට වෙලා ආවා....


පසු සටහන :

    අපේ ගමනේ දෙවන දවසේ  ලිඳුළ ගමේ එක ඉස්කෝලෙක ග්‍රවුන්ඩ් එකේ කාන්තා ක්‍රිකට් තරඟාවලියක් සංවිධානය කරලා තිබුණා. විවිධ පැති වලින් ඒකට ටීම් 11ක් සම්බන්ධ වෙලා හිටියා.

තරඟ ආරම්බයට පෙර කණ්ඩායම් පෝලිමේ...

තරඟය අතරතුර...

කුසලාන...

තරඟය අතරතුර අපේ අය..
ඩ්‍රයිවර් අයියා, මම, සත්සර, රූපේ(සත්සරට පිටුපස), හිමාෂි, උපුල් අයියා, මලිත..


ටජ්මහල්, මුම්ටාස් සහ සාජහාන්.....:D

ඒ තරඟයේ සියලු බරපැන නෙළුම්යාය බ්ලොග් සංසදය සහ අඩයාලම් සංවිධානයෙ එකමුතුවෙන් දරලා තිබුණා. තරඟ සියල්ල අවසානයේ ත්‍යාග ප්‍රදානෝත්සවය පැවැත්වුණා. ඒත් එක්කම විශේෂ දෙයක් සිදුවුණා. සිංහල බ්ලොග් ලිපි පළවෙන්න තියෙන නෙළුම් යාය වගේම දෙමළ භාෂාවෙන් ලිපි පළකරන්න තාමරෛකුලම් කියන වෙබ් අඩවිය විවෘත කිරීම හිමාෂි කරුණාරත්න සහ පලනි විජයකුමාර් අතින් සිදු වුණා...

සංකේතාත්මකව තාමරෛකුලම් විවෘත කරන අවස්ථාව...


       ගමනේ සියලු මිහිරි මතකයන් එක්ක ඒ වගේම හිතේ කොනක ඉපදුණ ලොකු සංවේගයකින් මුලු හිතම පුරවගෙන ආපහු එන්න පිටත් වුණා. යනකොට කටින් පිටවුණ වචන සේරම ගොලු වෙලා එනකොට නිෂ්ශබ්දව හිටියේ මහන්සියටත් වඩා හිතේ තිබුණ දුකට වෙන්න ඇති......

        ගමනට සම්බන්ධ වුණ හැමෝම ඉතාම මිත්‍රශීලී උදවිය. සත්සර, හිමාෂි, සුමිත් අයියා, රූපේ, මලිත, අලුපාට ලියන රනා(උඹේ නම මතක නෑ බං), ඇනෝපීලිස්, විජය අයියා, සම්පත් අයියා සහ අක්කා, අනිත් අක්කා(නම මතක නෑ), උපුල් අයියා, නිශාන්ත අයියා, කටුස්සා, දයා අයියා, ඩ්‍රයිවර් අයියා, ගමනේ අවසන් අදියරේදි සම්බන්ධ වුණ US වල අයියයි අක්කයි :D , එතකොට හිමාෂිගේ ඔෆිස් එකේ අනිත් අයියයි හැමෝම ආදරෙන් මතක් කරන ගමන් මේ ලියමන අවසන් කරනවා...
ආයෙත් දවසක මුණ ගැහෙමු..........

24 comments:

  1. රූනා නෙමෙයි බං...අලු පාට අලු ලියන රනා...
    මොකද තවත් රනා කෙනෙක් ඉන්නවලු.
    අර සාජහාන්තුමා ඉන්න පොටෝඑක චා බං.විලි ලැජ්ජාවෙ බෑ.

    ReplyDelete
    Replies
    1. ආ.. හරි මචං. වැරැද්ද හැදුවා.. :)
      ඒ 4ටෝ එක සෑහෙන්න වටිනවා ඈ....

      Delete
    2. විලිලැජ්ජ උඹට නෙවෙයි බං අපිට

      Delete
    3. කියලා වැඩක් නෑ. මූ නහින්න හදපු හැටි දන්නේ අපි නේ.

      Delete
  2. හරිම සංවේදී සටහනක් රන්දු.
    මාත් එකපාරක් තලවකැළේ පැත්තෙන් සිරීපාදෙ යනකොට ඔය පැත්තෙ නවත්තපුවහම පොඩි කොල්ලො සෙට් එකක් ඇවිල්ල අපිත් එක්ක හිතවත් උනා. ඒත් එතනදිත් ඔය භාෂා ප්‍රශ්නෙ හින්ද අපි දෙගොල්ලන්ට කිසිම දෙයක් කතාකරන්න පුලුවන් උනේ නෑ. උංගෙ මූනු දැක්කම කොච්චර දුකක් විඳිනවද කියල පේනව.

    ජාති බේද අතෑරල මේ වගේ දෙයක් කරන්න මුල් වෙච්ච එකට නෙළුම් යාය සෙට් එකට ස්තුතිවන්ත වෙන ගමන් මේ කාර්යය ඉදිරියටත් සාර්ථකව කරගෙන යන්න සුබ පතනව වගෙම හැකි උපකාරයක් කරන්නත් බලාපොරෙත්තු වෙනව.

    ReplyDelete
    Replies
    1. ඔව්. මේක මෙතනින් නවත්තලා හරියන්නේ නෑ. තව තවත් එයාලට සමීප වෙන්න උත්සාහ කරන්න ඕනි. මේ දුරස්ථ බව අඩු කරගන්න ඕනි...

      Delete
    2. ඔව් උන් වෙනුවෙන් ලොකු දෙයක් කරන්න පුලුවන් නං හොඳයි

      Delete
  3. මේ ගමනේදි අත්දැකපු සංවේදීම අත්දැකීම් තමයි මේ ඉස්කෝලවල පොඩි උන් හම්බ උනු එක.. වටිනාම අත්දැකීම උඹලා වගේ සුන්දර මිතුරු මිතුරියන් රැසක් අඳුන ගන්න ලැබීම.. ස්තූතියි මල්ලි මේ සටහනට..

    ReplyDelete
    Replies
    1. ස්තූති කරන්න ඕනි අයියලට. මේ වගේ දේවල් ලංකාවේ තියෙනවා කියලා අපේ ඇස් ඇරවන්න මේ ගමන සංවිධානය කරාට...

      Delete
  4. උන්ට ඔය ඉන්න තැනින් උඩට එන්ඩ වුවමනාව තිබුනට කවුරුවත් අත දෙන්නේ නෑ.....
    ඒ තමන්ගේ තත්වේ නැතිවෙයි කියලා! උඩට ගිය වුනුත් තමන්ට හොද නැති වෙයි කියලා ආපහු හැරිලා බලන්නේ නෑ....කුල ප්‍රශ්නේ නම් සැහෙන්ඩ තියෙනවා තමයි!! ඒ හින්දා දේශපාලකයොන්ගෙනුත් වැඩක් නෑ...
    මේකට මොකක්හරි කරන්ඩ පුළුවන් මිනිස්සුන්ටම තමා!!

    ReplyDelete
    Replies
    1. මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීම කියලා කියනවනේ. මනුශ්‍යත්වය තමයි හිත් වල ඇති වෙන්න ඕනි...එහෙම වුණොත් මේ පොඩිඋන් ටත් උන්ගේ කියලා හෙට දවසක් තියෙයි...

      Delete
  5. වතු සංස්කෘතිය හදල තියෙන්නෙම ළමයි ඉගෙනගන්න එක නවත්තන්න. මොකද ඉගෙනගත්ත දරුවෝ වත්තෙ දළු කඩන්න ආයෙම එන්නේ නැති නිසා.
    අජිත් අයියටත්, මේ සද්කාර්යයට සම්බන්ධ වෙච්චි උඹල හැමෝටමත් සුභ පතනවා.

    ReplyDelete
    Replies
    1. මට ඔය උඩින් කිව්ව කාරණේ නම් වැටහුණා. ඇත්තෙන්ම පව් ඒ දරුවෝ...

      Delete
  6. මේ වැඩ කන්දාරාවක හිර වෙලා හින්දා එන්න බැරි උනා බං. මේ ඉස්කෝලේ ළමයින්ට කිවන්න පොත් එහෙම ඕනෙනම් පොඩ්ඩක් මට කියපන්. අපි මොකක් හරි කරන්න බලමු

    ReplyDelete
    Replies
    1. දෙමළ භාෂාවෙන් ලියවුණ පොත් පත් තියෙනවා නම් හොඳයි කියලා මටත් හිතෙනවා. NeedyReaders එකෙන් මොනාහරි කරන්න පුළුවන් වෙයි නේද....

      Delete
  7. දේශපාලුවෝ මේ ළමයින්ට උදවු කරන්නේ නෑ බන්..එක ඉර හඳටත් වඩා විශ්වාසයි...

    මේ කොල්ලෝ කෙල්ලෝ ඉගෙන ගත්තොත් එදාට උන්ට යන එන මං නැති වෙන බව උන් හොඳාකාරවම දන්නවා....

    ReplyDelete
    Replies
    1. ඒ නිසා මිනිස්සු විදියට අපි අපි හරි එකතු වෙලා ඒ දරුවෝ වෙනුවෙන් යමක් කරන්න ඕනි....

      Delete
  8. Replies
    1. මටත් නෙළුම් යාය බ්ලොග් සංසදය ගැන අහලා තිබුණට ඒ සම්බන්ධව වැඩිය හොයන්න ලැබුණේ නෑ කැම්ප්ස් එකේ වැඩ නිසා. ස්තූතියි අජිත් අයියේ...

      Delete
  9. මේ බ්ක්ලොගේ අපට හමු වෙලාම නැහැනේ. සැඟවිලා තිබ්බේ. ඔය කතාවල් ඔක්කොම ඇත්ත. මේ වගේ එකක අපි කරන්න හැදුවෙත් මේක පෙන්නලා දෙන්න. එක ළමකුට දෙන්නෙකුට තෑගි දීල මේක කරන්න බැහැ. ආණ්ඩුවලට බල කරලා වෙනසක් කරන්නයි ඕනේ.

    ReplyDelete
    Replies
    1. මේ කරුණු ටික නොදන්නා පිරිසට මේ පණිවිඩේ යනවා නම් කොච්චර ලොකු දෙයක්ද..

      Delete
  10. http://sinhala.lankanewsweb.net/index.php/features/2013-07-01-07-49-32/17809-2015-07-18-22-47-00

    ReplyDelete
  11. දරුවන්ගේ නැණ වඩන්නට උර දෙන කෙනෙක් විදිහට ගොඩක් සංවේදී කතාවක් ලෙස දැනුණා...වටිනා සමාජ සත්කාරයක්...

    ReplyDelete
  12. පුළුවන් උපරිමයෙන් ම උත්සහ කරා ඒන්න.... ඒත් බැරිවුණා...... කමක් නෑ රූප බලලා සතුටුවුණා.......

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...