Sunday, July 12, 2015

නිහඬ ඉකිබිඳුම.........෴





"ආදරේ කියන්නෙද. ම්ම්ම්ම්ම්... ආදරේ කියන්නේ පරිත්‍යාගය. මට හිතෙන්නෙ එහෙමයි."
එයා මගේ ඇස් වලට එබිලා එහෙම කියනකොට මට එයාව බදාගෙන හයියෙන් අඬන්න හිතුණා. ඒත් මං යාන්තමට හිනා වුණා. ආදරෙන්. එයාගෙ හිත රිදෙයි කියලා බයෙන් වගේ.

"ඔයා කවදාවත් මගේ කරගන්න මට බැරි වුණාට ඔයාගේ ආදරේ මට ලැබුණ මේ කාලේ පුරාම මං ඉතිරි කරගත්ත මතක ටික මට ඇති." මගේ පපුවට ඔලුව තියාගෙන එයා දිගටම කියවගෙන යනවා. ඒ වචන ආදරණීය වේදනාවක්. හදවතේ ගැඹුරුම තැන් වල තියෙන කඳුළු උල්පත් වල කඳුළු ඇස් වලින් වාන් දාන්න පටන් ගත්තේ මටත් නොදැනිම වගේ. මං එයාට හොරෙන් ඒ කඳුලු අත් වල තවරගත්තා.

"ඔයා මට හොරෙන් අඬන්නේ ඇයි. කොල්ලෝ අඬන්නේ නෑ....අනේ.." එයා හරිම හුරතල් විදියට කියලා මගේ ඇස් දිහා බැලුවා. පිරිමි අඬන්නේ නෑ කියලා ගැහැණු හිතුවට ගැහැණුන්ටත් වඩා වැඩිපුර පිරිමි අඬනවා. ඒත් කඳුළු වලින් නම් ගැහැණු හැමවෙලේම දිනුම්. අඬනවා කියන්නේ ඇස් වලින් කඳුළු වැටෙන එකම නෙවෙයි.

"හරි හරී.... පිරිමිත් කඳුළු නැතුව අඬනවා තමයී......." එයාට මං හිතන දේත් තේරෙනවා.

"මගෙ පණ්ඩිත ඇටකිත්තී.." මං එහෙම කියන්න හදලත් ආයේ වචන ගිලගත්තා. එයා කියාගෙන යන දේට බාධා කරන්න මට හිතුණේ නෑ.

"ඔයා ඒ දවස් වල මගෙන් ඇහුවා 'මං ඔයාට ඇත්තටම ආදරෙයි කියලා ඔයා පිළිගන්නවද' කියලා. මතකද. ම්ම්ම්ම්??"
පරණ මතක.
හරියට ඉටිපන්දමක ඉටි වගේ. කොච්චර පිච්චිලා ඉවර වුණත් ඉටිපන්දම යටින් චූටියට හරි ඉටි ටිකක් ඉතිරි වෙනවා.

මං "ඔව්" කියලා උත්තර දුන්නා. වචනෙන් නෙවෙයි. ඔලුවෙන්.

"ම්ම්ම්.. ඔයා දන්නේ නෑනෙ. මං ඒ දවස් වල ඒකට 'ඔව්' කියලා උත්තර දුන්නට මං එහෙම කිව්වේ බොරුවට. මං හිතුවේ ඔයා ආදරේ මගේ ලස්සනට විතරයි කියලා." එයා ඔලුව පැත්තකට කරලා හරි දඟකාර විදියට ඇහැක් ගැහුවා. "ඒත් දැන් මං දන්නවා ඒ ආදරේ ඇත්තටම මට කරපු ආදරයක් කියලා."

"ඒ කොහොමද" කියලා අහන්න වගේ මං ඇස් පුංචි කරලා නළල රැලි කරා.

"නැත්තන් අද ඔයා මාව මුණගැහෙන්න එන්නේ නෑ නේ මෙහෙම. නේද." එයා කිව්ව දේ ඇත්ත නැත්ත මොකක්ද කියලා මම වත් තාම දන්නේ නෑ. ඔයා එයාට වඩා ගොඩක් ලස්සනයි. මම ඒ දවස් වල හිතුවේ මම ආදරේ කරන්නේ ඔයාගේ ලස්සනට කියලා. ඒත් පස්සේ මට හිතුණා මම ඔයාට ඇත්තටම ආදරෙයි කියලා. ඒත් එතකොට එයා. මං එයාටත් ආදරෙයි නේ..?? ආදරයයි ආකර්ශණයයි චපලකමයි අතරේ මං හිර වුණා. මං එතනින් එහාට කවදාවත් ඒ ප්‍රශ්නෙට උත්තර හෙව්වේ නෑ.
මං ආයෙත් එයාගෙ ඔලුව ආදරෙන් අතගෑවා. මගේ අතේ වෙනදට වඩා වැඩිපුර කොණ්ඩ ගස් ඉතිරි වෙලා තිබුණා..
මං ඒ දිහා බලනවා දැක්ක එයා "දැන් මගෙ කොණ්ඩේ යනවා අනේ. මොකක් හරි ට්‍රීට්මන්ට් එකක් කරන්න ඕනි. හරියයි නේ.." කියලා හරි ලස්සනට කිව්වා. මං ඒකට ලාවට හිනා වුණා. එයා ඒ කිව්ව විදියට මට ගොඩක් දේවල් ආපහු මතක් වුණා..

"මගේ සයිකල් එකේ අවුලක් අනේ. ගණං ගන්නෙපා. මොකක් හරි ට්‍රීට්මන්ට් එකක් කරන්න ඕනි. හරියයි නේ.." අවුරුද්දකටත් කලින් දවසක එයා එහෙම කිව්වා මට තාම ඇහෙනවා වගේ. එහෙම සුලුවට හිතපු ඒ ප්‍රශ්නේ අන්තිමට අපි දෙන්නා වෙන් කරලා, මාව ඔයාට නැතුව එයාටම අයිති කරලා දෙන තැනට වෙනකං එයි කියලා නිකමට වත් හිතුණේ නැති හැටි..

"මට කවදාවත් ළමයි හදන්න බෑ. මට ළමයි නෑ. ඒකයි සයිකල් එකේ අවුලක් තිබුණේ. ආ... දැන් හරි නේ. ඔයාට ඕනි දේ අහගත්තා නේ." මං එයාගෙන් දිගින් දිගටම ඒ ගැන අහපු දවසක එයා අන්තිමේ මෙහෙම කියලා මගේ ඇස් දෙක දිහා කේන්තිය මුහු වෙච්ච දුකකින් බලාගෙන හිටියා. "මට ඔයාව බඳින්න බෑ. මතක තියාගන්න ඔයාට ගොඩා...ක් ආදරේ කරන තව කෙල්ලෙක් මේ ලෝකේ ඉන්නවා. එයාට දුකක් දෙන්න එපා." එයාගේ ඒ වචන එයාගෙන් ඈත් වෙන්න මට උත්ප්‍රේරකයක් වුණා.

"ආච්චි කෙනෙක් සීයා කෙනෙක් වෙන්න බලන් ඉන්න මගේ අම්මයි තාත්තයි අසරණ කරන්නේ කොහොමද මං. මට බෑ තමයි ඔයාව බඳින්න. මං එයාව බඳිනවා." එයාගේ ඇස් දිහා බලාගෙන මං හිතුවා. ඊට පස්සේ පුදුම තරම් ඉක්මනට එයා මගෙන් මං එයාගෙන් ඈත් වුණා.

"බබා.." එයාගේ වචන වලින් මං ආපහු පියවි ලෝකෙට ආවා. "අද 24 නේද. මට ක්ලිනික් යන්න තියෙනවා. ආ... හෙට මැයි 25 නේද. ඔයාලගේ පළවෙනි ඇනිවසරි එක නේ...වෙඩින් ඇනිවසරි...." එයා ඇහැක් ගහලා දඟකාර විදියට ඇහුවා...

බෙඩ් ෂීට් එක ඇඟේ ඔතාගෙන එයා හිමීට ඇඳෙන් බැස්සා.
තව විනාඩි පහකට විතර පස්සේ...
"බබා.. මං යනවා.. ඔයා දැම්ම එන්නේ නෑ නේද.." මං නෑ කියන්න ඔලුව වැනුවා..

එයාගේ අඩි සද්දේ චුට්ට චුට්ට ඇහෙන්නේ නැතුව ගියා. ත්‍රී වීල් එකක් නවත්තන සද්දේ ඇහුණා. ඈතින් ඇහුණා එයාගෙ කටහඬ..

"පිළිකා රෝහළට..."

~ නිමි ~

1 comment:

  1. wena gamanak yana gaman ahamben dakke me blog eka. marai. maru. me kathawata nikam hitha hiri watuna wage ekak una

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...