මාසෙකට විදුලි බලය නැති වෙලා යනවා නම්.................................
මං ආස කරන මගේ ඒ ලස්සන ළමා කාලෙට ආයෙත් යන්න මට පුළුවන් වෙයි.
හැමදාම උදේට අම්මා බැටරි දාන සන්යෝ වර්ගයේ රේඩියෝ එකේ පිරිත් දානවා. උදේට නැගිටින්නේ ඒ පිරිත් වල හිත නිවන රිද්මයෙන් කන් දෙක පුරවගෙන. උදේට මූණ හෝදන්න දත් මදින්න යන්නේ ඇලට. උදේ පාන්දරට ඇලේ වතුර හරිම සීතලයි.
ඇල බන්ට්* එක දිගේ අක්කයි අක්කගේ යාලුවොයි එක්ක ඉස්කෝලේ යන්නේ පයින්මයි. ඇලට ගල්කැට විසි කර කර, ඇල දෙපැත්තේ තියෙන පේර ගස් වලින් පේර කඩ කඩ බොහොම දඟකාර විදියට ගිහිපු හරිම සුන්දර ගමනක්. ඉස්කෝලේ ඇරිලා එන ගමනත් ඒ වගේම සුන්දරයි. අක්කගේ යාලුවොත් එක්ක කයිය* ගහ ගහ එනකොට අක්කා පරක්කු වෙනවා. මං කැමති නෑ එයාලට විතරක් තේරෙන එයාලගෙ කතා අහගෙන එන්න. ඉතින් මම ගෙදර ළඟ සන්ධ්‍යා නංගිත් එක්ක ( එයා තමයි චූටි කාලේ මගේ හොඳම යාළුවා.මට වඩා අවුරුද්දක් බාලයි ) තරගෙට ඉස්කෝලෙන් එනවා. ඉස්කෝලෙන් ඉස්සෙල්ලෙම පිට වෙන්නේ අපි දෙන්නා නොවුනට පයින් යන හැමෝම පහු කරලා ඉස්සෙල්ලම යන්නේ අපි දෙන්නා තමයි. මම ඉස්සෙල්ලා ගෙදර එන එකට වඩා අක්කා පරක්කු වෙලා ගෙදර එන එකට අක්කා හැමදාම බැනුම් අහනවා. ඉතින් මට මාර සතුටුයි අක්කා බැනුම් අහනවට.