Wednesday, March 18, 2015

මේ දෙව් ලොව නොවේ........෴



          මාර්තු මාසය ආරම්භ වනවාත් සමඟම වාගේ පේරාදෙණිය සරසවිය මනමාලියකගේ සිරි ගැනීම පේරාදෙණි සරසවි මාතාවගේ තුරුලේ සැනහෙන දරු දැරියන් සැමගේ සිත් කුල්මත් කරනව හැඟීම් ගොන්නක් ඇති කරවයි.

          වසර හතරක් පුරා විඳි මා නෙතින් විඳි ඒ සුන්දරත්වය, මුවෙහි වදන් ගොලුවී යන ඒ සුන්දරත්වය, දෑස් අලවන ඒ සුන්දරත්වය ඔබ හමුවට ගෙන ඒමට වචන භාවිතා කිරීම, ඒ සුන්දරත්වයට කරන නිගාවකි........

විඳින්න....
මිහිබට දෙව්ලොවේ අසිරිය.........




































































Sunday, March 8, 2015

ස්වර්ණ ඉඳුමිණි මහද පෙම කළඹති........෴





සොමි සඳ උවන ලෙස මුවැති..
සිසි සුව ගති ඇති..
නොකැළැල් රුවැති..
සොඳ කසුන් සරයෙකි සිනහ මල් කමලැති....

වීදුරු සදිසි දිසි කුසුමැති..
බිඳෙනු බිය සිත ඇති..
දෑස මත ඇති..
ස්වර්ණ ඉඳුමිණි මහද පෙම කළඹති....

දෙබැම නළවන සුමුදු නළලැති..
කෙහෙරැල්ලකට සුළඟ ලොබ ඇති..
කොපුල් තල මන්මති..
සුසුදු වත මත සොඳුරු සුව අරුමැති....
.
.
෴ රන්දු ෴

Friday, March 6, 2015

සුළඟක් වෙලා.......෴


සීත තුෂාරය අරන්
හමායන්නම් සකුරා මල් උඩින්
හිමිදිරි සීත මීදුම එක්ක
සමනළ කන්දට උඩින්
හිමෙන් නැහැවිලා හෙමින්
එන්නද ස්ටෙප්ස් තණ බිම් මතින්..

වළා සළු හෙමින් උනා
පොළෝ කතගේ නිරුවත් සිරුර
ආදරෙන් සිප ගන්නම්...

ගිණි මැළයක විසිරුණු අළු බිඳ අරන්
ගිණි කන්දක නැහැවෙන අළු වැස්ස අරන්
දුගඳ හමන කසල ගොඩක
අපුල සැර විස ගඳ අරන්..

නොනැවතී යන්නම් කවුරුන්හෝ ළඟ
මොහොතකට ළඟින් දැවටෙන්නම්
සිඟිති ගෙලෙහි ආදරයෙන් බැඳෙමින්
නළලට වැටුණ කෙහෙරැල් ආදරෙන් පිරිමදිමින්
මුව මත හාදුවක් තබන්නම්
යළි හමා යන්නම්....

එන්න,
හමා යන්න මේ මද නළ එක්ක
දුක පමණයි නිසැක නුඹට.....
.
.
෴ රන්දු ෴

Friday, February 27, 2015

මමයි නුඹෙ පුර සඳ......෴





නෙක කලා ලෙස නුඹ
දකියි මගෙ සෙනෙහස
එහෙත් සැම දිනයෙම
මමයි නුඹෙ පුර සඳ....


දිනෙක බැස යනු දැක
කඳුලෙ පෙම් පහසක
වෙලෙනු නුඹ දැක දැක
හිඳිනු මං කෙලෙසක....


බැස ගියත් නුඹෙ සඳ
හෙටත් එමි පෙරදිග
සුවඳ නුඹෙ විඳ විඳ
නොයමි හැර නුඹෙ හද....

෴ රන්දු 

Friday, January 2, 2015

පෙර දිනයක මා පෙම් කල යුවතිය සිය පුතු නලවනවා......෴




ඔයාට මතකද ඒ දවස් වල අපේ ආදරේ....
ගෙදර තිබුණ නා ගහ යටට වෙලා ඔයා මං එනකං වැටට උඩින් පාර දිහා බලාගෙන හිටියා...
ඔයා හිතුවේ ඔයා පොත කියවනවා කියලා......
ඒත් ඔයාගේ ඇස් තිබුණේ පොතේ නෙවෙයි කියලා පොත විතරක් නෙවෙයි, නා ගහේ කොළ මල් අතු හැමදේම මට ගතු කිව්වා.....


ඔයා පළවෙනි පාරම සරසවි වරම් ලැබුවම මගේ සරසවි හීනය, හීනයකට වඩා හැබෑවක් කරගන්න අනිවාර්යය වුණේ ගෙදර හිටපු එකම රෝස පොහොට්ටුව හොරෙන් කඩාගෙන යන එක හොඳ නෑ කියලා මගෙ හිතම මට වාරණ දාපු නිසා කියලා ඔයා දන්නවද...?
බඩට හරියට කෑමක් වත් නැතුව මං කැම්පස් එන්න මහන්සි වෙනකොට ඔයත් නොකා නොබී යශෝධරා පිළිවෙත රැක්කද කියලා අදටත් මගෙ හිත කෑ ගගහ අමුතු චෝදනාවක් කරනවා......

ඔයාගේ ලස්සන මේ ලෝකෙ කිසිම දේකට සමාන කරන්න බෑ කියලා මං කියනකොට ඔයා ආදරේ නුරාව පිරුණු ඇස් වලින් මගේ දිහා බලලා "බොරූ......" කියලා අහිංසක විදියට මගේ උරහිසට ගහපු වෙලාවේ මං බොරුවට තරහ වුණා මතකද ඔයාට?
ඊට පස්සේ ඔයා මගේ ලස්සන ගැනත් කියලා මාව යාලුකරගත්ත හැටි.මතකද?
කාලෙත් එක්ක අපි දෙන්නගෙම ලස්සන වියැකිලා ගියත් අපේ ආදරේ ලස්සන එදා වගේම අදටත් එහෙමමයි නේද?

නුරාව පිරුණු දිලිසෙන ඇස් වලින් මගේ දිහා බලලා මාව ආදරෙන් උමතු කරපු ඔයා, ඒ ඇස් වලම දයාව සෙනෙහස පුරෝගෙන චූටි පුතා දිහා බලං ඉන්නකොට මට ඔයා ගැන පුදුමාකාර සෙනෙහසක් ඇති වෙනවා. ඔයා කොච්චර හොඳ අම්ම කෙනෙක්ද.....
වැඩ ඇරිලා මං ගෙදර එනකොට ඔයා පුතා නළවන්න කිව්වේ මං ඒ දවස් වල අපේ ආදරේ ගැන ලිව්ව සින්දුවක් නේද?
ඔයා ඒක හරිම ආදරණීය විදියට කිව්වා........

ආදරෙයි මං ඒ චූටි කෙල්ලට...
ආදරෙයි මං මගේ සොඳුරියට...
ආදරෙයි මං මේ මගේ දරුවන්ගේ අම්මට.....


~~~~~~~~~~~~~~~~~~~~
පෙර දිනයක මා පෙම් කල යුවතිය
සිය පුතු නලවනවා..
මගේම ගීයක් නැලැවිලි ස්වරයෙන්
ඈතින් මතු වෙනවා...

නුරාව වෙනුවට ඉඳුනිල් දෙනයන
දයාව වෑහෙනවා..
සිනාසුනෙමි මම අවිහිංසක ඇය
කෝල බැලුම් හෙලුවා...

හිරුට සඳුට නොකියා හොර රහසේ
කාලය වියැකෙනවා..
නෙත් අදන්නට බැරි ලෙස රූසිරි
කෙමෙන් මැකි යනවා...

එදා වගේ තවමත් වැට අද්දර
නාමල් පූදිනවා..
නොකා නොබි දුක් වින්ඳ අතීතය
යළි මට සිහිවෙනවා...

පද රචනය - පන්ඩිත් ඩබ්.ඩී. අමරදේව 
සංගීතය     - සුනිල් සරත් පෙරේරා 
ගායනය     -  පන්ඩිත් ඩබ්.ඩී. අමරදේව


~~~~~~~~~~~~~~~~~~

Saturday, November 15, 2014

සාංසාරික සොඳුරු සෙනෙහෙන් බැඳුණෙ මෙලෙසින් සිතින් ඔබ මා..............෴








නිල් නෙතු මත පෙම තවරන සහසක් කව් ගී ලියවෙන.. 
පෙම් සිතුවිලි සිත රන්දන දඟ බස මත පෙම සඟවන.. 
හිත අභියස ගී මුමුණන නෙතු දැහැනට තෙත නංවන... 
හද අරණට සුව කැන්දන කිරිල්ලී නුඹ දුක් සින්දන... 

Friday, October 3, 2014

අම්බපාලිගේ දාස්පෙතියා වට්ටිය.......෴





"සුවඳ මල් නෙලන්නට
නැත ගියේ අප්පච්චි
තලා පරසතු කුසුම්

ගනිනවා හිර කූරු...

අවලමේ ගිය ගෑණි
කියා උන් වස් කීවේ
ආච්චිට අපි දීලා
ගිහිපු අපෙ අම්මාට...

Monday, September 29, 2014

නවක කවියන්ට කිවිඳියන්ට උපදෙස් කීපයක්..........෴




          පසුගිය සෙනසුරාදා පැවති 'කවි සියපත' දොරට වැඩීමේ උත්සවයේදී රත්න ශ්‍රී විජේසිංහයන් සහ මහාචාර්ය සමන්ත පෙරේරා කිවි වරුන් කළ දේශන ආශ්‍රයෙන් රචනා කරන ලදි.....



* අතීතකාමයෙහි ගැලෙන්න එපා
(මා මෙතෙක් කළ වැරැද්දක්)
- අපි හැමෝම කැමතියි අතීතයට ආදරේ කරන්න. අතීතයේ ලස්සන සිදුවීම් වලට ආයෙත් යන්න. ඒත් ඒ දේවල් වලට ආදරයෙන් ලියන කවියෙන් සමාජයට යහපතක් වෙන්නේ බොහොම අඩුවෙන්. කවියෙක්ගෙන් විය යුතු සමාජ බලපෑම පසෙක ලා ස්වයං වින්දනයක් පමණයි එයින් ලැබෙන්නේ.

Tuesday, September 23, 2014

හද අරණට සුව කැන්දන...කිරිල්ලී නුඹ දුක් සින්දන | How she come to My Life........෴



          (හරියටම මාසෙකට පස්සේ නේද මේ පෝස්ට් එක ලියන්නේ කියලා දැක්කේ කලින් පෝස්ට් එකේ දිනේ දැක්කම. ලියන්න දේවල් තිබුණත් ලියන්න හිතෙන්නැති තත්වෙකට පත් වෙලා. නිකන් හිත ලෙඩ වෙලා වගේ. ඇත්තටම කිව්වොත් ඒක ලෙඩක් තමයි. ආදරේ කියන්නේ අපි හැමෝම වැළඳගන්න කැමති කවදාවත් හොඳ නොවෙන ලෙඩක්....!!!)

         ඔව්. ආදරේ තමයි.....
        දිනය අගෝස්තු 24 වෙනිදා. සති අන්තේ ඉරිදාවක්.....එදා හරි ලස්සන දවසක්. ඒක ඇත්තටම ලස්සන දවසක් නොවුණත් ආදරෙන් මත් වෙලා ඉන්න හදවත් වලට නම් ඒ දවස දැණුනේ එහෙමයි....

         ආදරේ හැඟීම් දෙන්නගෙම හිත් වල තිබුණත්, දෙන්නගෙම ඇස් වල ආදරේ ලියවිලා තිබුණත් ඒවා වචන කරගන්න දෙන්නගෙන් කාටවත්ම බැරි වුණා. මේ දවස එනකන් මං කොච්චර ඇඟිලි ගැන්නද දෙයියනේ. කියන්න ඕනි දේවල් පවා මොනාද කියලා මං හිතලා, ඒවා තනියෙන් කියලා කියලා මට පාඩම් වෙලා වගේ තිබුණේ. ඒත් ඒ වෙලාවේ මං ගොළු වුණා....

"මොනාද අයියේ මට කියන්න විශේෂ දෙයක් තියෙනවා කිව්වේ...." එයාගේ ඒ ප්‍රශ්නෙන් මං තිගැස්සුණා.

Saturday, August 23, 2014

මී මුරේ හරහා ලකේගල තරණය | Lakegala Exploration via Meemure ෴

          පහුගිය සතියේ මේ වෙලාව වෙනකොට(සිකුරාදා රෑ) ගලක් උඩ හාන්සි වෙලා රාවණා රජතුමාගේ කතා කිය කිය හිටියා තාමත් මතකයි. ඒ අපේ මීමුරේ සංචාරයේ පළවෙනි රාත්‍රිය.

          ඒක එකපාරටම සංවිධානය කරගත්ත, අනපේක්ෂිත ගමනක්. පේරාදෙණිය විශ්වවිද්‍යාලීය ගවේෂකයන්ගේ සංගමයේ උපකරණ ටිකත් අරගෙන මේ ගමන පටන් ගත්තේ සිකුරාදා උදේ 10.30ට පේරාදෙණියෙන්. University Explorers Club(UEC) එකේ Pilot Hike එකක් කිව්වොත් තමයි මේකට නියම අර්ථය එන්නේ.
          පේරාදෙණියෙන් නුවරට ඇවිත් නුවරින් හුන්නස්ගිරියට ගියා(මොණරාගල, මහියංගනය, උඩුදුම්බර වගේ ඕනි බස් එකක යන්න පුළුවනි). හුන්නස්ගිරියෙන් අඩුපාඩු වුණ අනිත් බඩු ටිකත් අරගෙන මීමුරේ දක්වා පිටත් වුණා. හුන්නස්ගිරියේ ඉඳන් මී මුරේ ට දුර කිලෝමීටර් 33ක්. ඒ දුර යන්න බස් නෑ. මී මුරේට වෙනකන්ම යන වෑන් දෙකක් වැඩ කරනවා. ඒ ගමනට එක්කෙනෙක්ගෙන් රුපියල් 150ක් අයකරනවා. අන්තිම වෑන් එක යන්නේ 2- 2.30 අතර වෙලාවක. ලෝඩ් වුණ ගමන් වෑන් එක යනවා.

Friday, August 1, 2014

සුරඹුන් නුරා පැන් බී කෙලිති රති රඟ.......෴




කැළඹුන් සරා පෙම් ගී කෙලෙස් සිතඅඟ..
නෙකඹුන් පුරා රැව් දී කරති මනදඟ..
සළඹුන් අරා සිඳ දී දිවිය සිලමඟ..
සුරඹුන් නුරා පැන් බී කෙලිති රති රඟ..

Wednesday, July 23, 2014

...සඳ කොමළිය පමා නොවී සරසාපන් අහස් තලේ...





අවරගිරින් රක්ත වර්ණ සායම් ඇඳි ගගන තලේ...
සියොත් කැලක් ගිමන නිවන භවන සොයා පියා සැලේ...
ඉරබටු තරුවත් මතුවී තනිව අඳුරෙ දිලෙන වෙලේ...
සඳ දෙව්දුව පමා නොවී සරසාපන් අහස් තලේ...


කෑලි කපන අඳුර වැටී මහීකතම නිසල කලේ...
නීල ගගනෙ නේක වර්ණ තරු මිණි වල එළිය දිලේ...
තනිව අඳුර බිඳිනු බැරිව බලා සිටියි පහන් සිලේ...
සඳ මිතුරිය පමා නොවී සරසාපන් අහස් තලේ...


කඩුපුල් මල් සීත පින්නෙ නැහැවි හෙමින් සිනා සැලේ...
මණ්ඩුක සංගීත නදින් මීන නින්ද සලිත කලේ...
කුමුදු මලට පිපෙනු බැරිව බලා හිඳි‍යි නිහඬ ජලේ...
සඳ කොමළිය පමා නොවී සරසාපන් අහස් තලේ...


෴ රන්දු ෴

Friday, July 18, 2014

අවදි කරවමි යළිත් කවි සිත ෴



    


දරා නෙක නෙක සිතුම් සිතයට
විරා රස සිත පතුලෙ යටකොට
නුරා මුසු පෙම් හැඟුම් මතු කොට
සරා සුරඟන කරා සිත වට

Wednesday, July 2, 2014

චූටි ඇහි පිය යට... මනමාල කවි ඇත......෴




චූටි ඇහි පිය යට,
මනමාල කවි ඇත
ඇති නමුත් අවසර,
ගයන්නට හිත නැත...

Thursday, June 26, 2014

Duet එකක් තනියම..............??? | Chahun main ya naa Sinhala Version


          Duet එකක් කියන්නේ මොකක්ද කියලා අමුතුවෙන් කියන්න ඕනි නෑ නේ. කාන්තා සහ පිරිමි කටහඬක් එකම ගීතයකින් ඇහෙනකොට අපි ඒ සින්දුවට 'Duet එකක්' එහෙම නැතිනම් සිංහලෙන් 'යුග ගීයක්' කියලා කියනවා.
         ඉතින් ඒ වගේ යුග ගීයක් ගැන කියන්න තමයි තකහනියක් මේ ලියන්නේ. මේ පහුගිය කාලේ අතිශය ජනප්‍රියත්වයට පත්වුණ Aashiqui 2 චිත්‍රපටයේ Chahun main ya naa සින්දුව. ඒ ගැන මම කලින් පෝස්ට් එකකත් ලිව්වා. ඒ ලිපිය මෙතනින් බලන්න.

         මේ සිංහල version එක ගොඩක් විශේෂ විදියට නිර්මාණය කරපු එකක්. ඒ විශේෂත්වය මොකක්ද කියලා දැනගන්න කලින් සින්දුව අහලා ඉන්නකෝ. නැතිනම් ඒක අඩුවක් වෙයි......

Friday, June 6, 2014

මොළේ විකාර කරගන්න අකමැතිද? එහෙනං කියවන්න එපා......෴




          අම්මෝ...සෑහෙන්න කාලෙකින් නේ මං මේ පැත්තේ ඇවිත් තියෙන්නේ. සිතුවිලි හන්තාන සිතුවිලි නැතුව වල් වැදිලානේ. බොහොම අමාරුවෙන් සුද්ද කරලා ආයෙත් ලියන්න පටන් ගන්න ඕනි කියලා හිතුවා.
පහුගිය කාලේ ඇකඩමික් වැඩ නිසා සෑහෙන්න හිර වෙලා හිටියේ. 5වෙනි සෙමෙස්ටරේ තරම් අමාරු එකක් කැම්පස් ජීවිතේටම හම්බවුණේ නෑ....කොහොමහරි ඒ එක්සෑම් එකත් ඉවර කරගෙන තමයි ආයෙත් මේ පැත්තේ ආවේ......

          අන්තිමට ලිව්වේ කවදාවත් කියවලා ඉවර කරන්න බැරි ලිපියක්.  ඒකේ පසු සටහනේ පොරොන්දු වුණ විදියට ඔන්න ආයෙත් මේ try කරන්නේ Paradox ගැන කතා කරන්න.

          Paradox ගැන අහලා තියෙනවද? Paradox එහෙම නැත්නම් 'විරුද්ධාභාසය' කියලා කියන්නේ 'තේරුම් ගන්න දුෂ්කර දෙයක්' හඳුන්වන විදියලු. ඒත් ඒ වචනේ නිවැරදි අර්ථය ඒ විදියට ගන්න අමාරුයි. ඒ සම්බන්ධ කරුණු මොනවගේද කියලා හොයලා බැලුවම තමයි ඒකේ ඇත්තම තේරුම හිතට වදින්නේ. Paradox එකක් කියන්නේ ඇත්තටම හරිම රසවත් දෙයක්. ඒවා ගැන කල්පනා කර කර ඉන්න එක හරිම ෆන් වැඩක්. Paradox එකක් කියන්නේ මොනවගේ දෙයක්ද කියලා චූටි අවබෝධයක් ගන්න පුළුවන් වෙයි මෙන්න මෙතනින් ගිහින්...

           Paradox ගැන මම දැනගෙන හිටියේ බොහොම ටිකයි. ඒත් Google දෙවියන්ගෙන් ඒ ගැන ඇහුවම මෙන්න බොලේ Paradox ලිස්ට් එකක්ම එතුමා මට දුන්නා.

Saturday, March 22, 2014

විරහවේ සැමරුම........෴

2011 මාර්තු 22.....!!!!
අදට අවුරුදු 3ක්..!!
ඔයා මගේ ජීවිතේට ඇවිත් අදට හරියටම අවුරුදු 3යි. අද ඔයා මගෙත් එක්ක හිටිය නම් අද දවස අපි සමරන්නේ කොච්චර සතුටින්ද. ඔයා මට ගොඩක් ආදරේ කරා කියලා මම දන්නවා. මට ඒක දැණුනා.
ඒත්.....
ආදරේට එහා ගිහිපු නොගැලපීම් ගොඩක් අපි දෙන්නගේ මැද්දට ආවා. ඔයා මට කරපු වැරදි වගේම මම ඔයාට කරපු වැරදි නිසා අපි දෙන්නට වෙන් වෙන්න වුණත්,වෙන් වෙලාගිහින් අවුරුදු එකහමාරක් වෙලත්, අදටත් මට ඔයාව මතක් වෙන්නේ ඇයිද කියලා මම වත් දන්නෙ නෑ.....
මමත් ඔයාට මෙච්චරටම ආදරේ කරාද කියලා මට හිතාගන්න බෑ.....

ඔයා පිළිගත්තේ නැති ඔයාගේ ඒ එකම එක අඩුව හදාගත්තොත් ඔයා තමයි මේ ලෝකේ ඉන්න හොඳම පෙම්වතිය වගේම හොඳම බිරිඳ . ඔයාට කවදහරි හම්බවෙන කෙනාට ඒ වගේ හොඳ කෙනෙක් වෙලා ඔයාගේ අනාගත ජීවිතේ ගොඩක් ලස්සන වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
(කොහේ හරි ඉඳන් ඔයා මේක බලාගෙන ඇති කියලා මට හිතෙනවා)


ගොඩාක් කාලෙකට පස්සේ අපි එකිනෙකා මුණගැහිලා වෙන් වෙලා එන දවසක මම මේ ලියපු සින්දුව ඔයාටත් මතක ඇති................
(ඒ දවස් වල නමට ඉස්සරහින් වරහන් ඇතුලේ දාපු අකුරු දෙක..........ඒක වෙනස් කරන්නැතුවම දැම්මා.)






ප.ලි : බ්ලොග් එකේ පහලට බලාගෙන යනකොට තමයි මේක දැක්කේ. ගිය අවුරුද්දෙත් මාර්තු 22 මම මේ ගැන ලිපියක් ලියලා.............

Tuesday, March 11, 2014

෴.....සඳ අඳුරේ ගිලී ගියා..... ෴




කෝඩුකාර හීන ගොඩක්,

මල් පෙති මත තවරන්නට

සිහිල් පවනේ හැඟුම් මවා
Related Posts Plugin for WordPress, Blogger...